චීනය ඇත්දළ වෙළඳාමට තිත තියයි

 

ඇත්දළ සඳහා ලොව විශාලතම වෙළඳපොලකට  දීර්ඝ කාලයක් තිස්සේ හිමිකම් කියන චීනය 2018 උදා වූ නව වසරේ පටන් ඇත්දළ සහ ඒ සම්බන්ධ සියලු නිෂ්පාදන රට තුල විකිණීම තහනම් කර තිබේ.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ලොව ඇත් ගහනය ආරක්ෂා කිරීමට දරන ප්‍රයත්නයේ තවත් එක් පියවරක් ඉදිරියට තැබීමක් වශයෙනි.

සෑම වසරකම අප්‍රිකානු ඇතුන් 30,000 ක් පමණ දයම්කරුවන්ගේ ගොදුරු බවට පත්වෙන්නේ යැයි ලෝක වනජීවී ක්‍රියාකාරීහු විශ්වාස කරති.

අමිශ්‍ර ඇත්දළ සඳහා වෙළෙඳපොල මිල ගණන් පසුගිය වසරේ දී සියයට 65 කින් පහත බැස ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

මෙම තහනම 2017 වසරේ ප්‍රකාශයට පත් කළ ද එය බල පැවැත්වෙන්නේ දෙසැම්බර් 31 සිට ය.

ඇත්දළ නිෂ්පාදන සම්බන්ධ කටයුතු සිදු කෙරෙන නිල කර්මාන්තශාලා සහ සාප්පු 67 ක් පසුගිය මාර්තු මස සිට වසා දමා ඇති අතර ඉතිරි 105 වසරේ අවසන් දිනයේ වසා දැමෙන බව ෂිනුවා පුවත් සේවය පවසයි.

“ලොව විශාලතම ඇත්දළ වෙළඳපොලක් දොරගුළු ලෑම ඉමහත් සතුටට කරුණක්,” බව ලෝක වනජීවී අරමුදල(WWF)  ප්‍රකාශ කර සිටියි.

“මෙම සුවිශේෂී පියවර අප්‍රිකාවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීම සඳහා ප්‍රබල උත්තේජනයක් විය යුතුයි,” යනුවෙන් ලෝක වනජීවී අරමුදලේ අප්‍රිකානු අධ්‍යක්ෂ ෆ්‍රෙඩ් කුමා පවසා ඇත.

ජාත්‍යන්තර වශයෙන් ඇත්දළ වෙළඳාම තහනම් කරන ලද්දේ 1990 පටන්ය.

කෙන්යාවේ සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි වෙත රැගෙන යාමට උත්සාහ කළ ඇත් දළ 359 ක් 2012 වසරේ සිදුකළ වැටලීමකදී රේගු භාරයට ගැණුන අතර එම ඇත් දළ තොගය සුන් කිරීම රාජ්‍ය අනුග්‍රහය යටතේ 2016 ජනවාරි 26 ගාලු මුවදොර පිටියේදී සිදු කෙරුණි.

 

Related posts

Comments are closed.

Top