සමරිසි විවාහයට ඔස්ට්‍රේලියාවේ බහුතර ඡන්දය 

 

ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු ඓතිහාසික ජනමත විමසුමකදී සමලිංගික විවාහය නීතිගත කිරීමට එකඟව එරට වැසියන් බහුතරයක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

15 බදාදා නිකුත් වූ තැපැල් ජනමත විචාරණයේ ප්‍රතිපල අනුව 61.6 % සමරිසි විවාහ සඳහා කැමැත්ත පල කර ඇතැයි ඕස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

ජයග්‍රහණයෙන් සතුටට පත් ආධාරකරුවන් දේදුනු පැහැ ධජ ඔසවමින් සතුට සමරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පනත සෙනට් සභාවට

විවාහ නීති සංශෝධනය සඳහා පනතක් 15 බදාදා සෙනට් සභාව වෙත ඉදිරිපත් කර ඇත.

එසේම ඉදිරි සංශෝධන කටයුතු සඳහා එය විවාදයට ගැනීමට නියමිතය.

එළැඹෙන නත්තල් සමය වනවිට පාර්ලිමේන්තුව තුල නීති සම්පාදනය කිරීම සිය රජයේ අරමුණ බව එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසා තිබේ.

“මිලියන ගණනක් සිය හඬ අවදි කරලා ඒ වගේම විවාහයේ සමානාත්මතාව සඳහා ඕස්ට්‍රේලියානුවන් බහුතරයක් සිය කැමැත්ත පල කර තිබෙනවා,” යැයි ප්‍රතිපල ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව ඔහු පවසා ඇත.

“සාධාරණත්වය, වගකීම සහ ආදරය වෙනුවෙන් ඔවුන් පෙනී ඉඳලා.”

 

මත විමසුමක්

ඕස්ට්‍රේලියානු විවාහ නීති පනත් සංශෝධනය සඳහා පැවති දීර්ඝ සහ අමිහිරි විවාද රැසකින් පසුව ජන මතය විමසුම සඳහා මෙසේ ස්වේච්ඡා තැපැල් ඡන්දයකට යොමු වීමට සිදු වුනි.

සති අටක් පුරා පැවැත්වුණු මත විමසුම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද හිමියන්ගෙන් 79.5 % ක් එනම් මිලියන 12.7 කට අධික සංඛ්‍යාවක් සිය ඡන්දය භාවිත කර තිබුණි.

එහිදී ඔවුන්ගෙන් විමසා තිබුනේ: “සමලිංගික යුවලකට විවාහ වීම පිණිස විවාහ නිතිය වෙනස් කළ යුතු ද?” යන පැනයයි.

සමරිසි විවාහයට එකඟතාව පල කරමින් මිලියන 7.8 ක් පමණ ද, ඊට විරුද්ධව ආසන්න වශයෙන් මිලියන 4.9 ක් ද ඡන්දය භාවිත කර ඇති බව ඕස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යාංශ ප්‍රධානි ඩේවිඩ් කලිෂ් පවසා තිබේ.

“මෙරට වැසියන්ට මෙම ගැටලුව කෙතරම් දුරට ආදාල වේ ද යන කරුණ මෙයින් පැහැදිලි වෙනවා,” යනුවෙන් වැඩිදුරටත් ඔහු පැවසුවේය.

Related posts

Comments are closed.

Top