ඌව සහ මැදරට දුගීබව නැති කරන්න යුරෝපා සංගමයෙන් කෝටි 54 ක් 

 

ඌව සහ මධ්‍යම පළාත්වල ග්‍රාමීය ජනතාවගේ දුගීබව අවම කිරීම සඳහා වූ  සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් යුරෝපා සංගමය, රුපියල් බිලියන 5.4 ක අරමුදලක් වෙන්කර තිබේ.

එම ප්‍රදේශවල ජනතාවගේ ආදායම් මට්ටම වැඩි දියුණු කිරීමෙන් දුගී බව අවම කිරීම සහ දුෂ්කර කාලවලදී අවශ්‍ය තරම් ආහාර ලබා ගැනීමට උපකාරී වීම පිණිස  වෙන්කර ඇති මෙම මුදල රටේ දැවැන්තම ව්‍යාපෘති අතරින් එකක් බව යුරෝපා සංගමය පවසයි.

මෙම  අරමුදල් හරහා ජනතාවගේ ජිවිතවල දිගු කාලින වෙනසක් ඇති කිරීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා රජය සහ සිවිල් සංවිධාන සමඟ සබඳතා රැසක් ඇති කරගැනීමට හැකි වීම පිළිබඳව සතුටට පත් වන බව යුරෝපා සංගම් ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩල තානාපති තුං-ලායි මාර්ග් 14 අඟහරුවාදා මහනුවර පැවති ව්‍යාපෘති සමාරම්භක උළෙලේදී පැවසුවේය.

“වඩාත් යහපත් ජල සහ සනීපාරක්ෂක පහසුකම්වල සිට තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීම මෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම දක්වා පුළුල් පරාසයක විහිදුනු අංශ රැසක් මෙම වැඩසටහන ඔස්සේ ආවරණය කෙරෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

 

 

 

2017 සිට 2022 දක්වා ක්‍රියාත්මක වන ව්‍යාපෘති අදියර මඟින් මොණරාගල, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක වල ග්‍රාමීය ජනතාවට ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂා කෙරේ.

පළාත් වෙනුවෙන් වෙන්කර තිබුනද, මුදල් දෙනු ලබන්නේ මධ්‍යම රජය වෙත බව යුරෝපා සංගම් ප්‍රකාශිකාවක් ගගන හා කියා සිටියාය.

ව්‍යපෘති දියත් කරනු ලබන්නේ CARE, ACTED, Oxfam, ඇඩ්වෙන්ටිස්ට් ඩිවලොප්මන්ට් ඇන්ඩ් රිලීෆ් සහ ස්ටිචින්ග් සොලිඩරීඩඩ් යන සංවිධාන විසිනි.

ව්‍යාපෘති සමාරම්භක උළෙලට ඌව සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් එක් වී සිටියහ.

Related posts

Comments are closed.

Top