සිම්බාබ්වේ හමුදා ග්‍රහණයට: සෙබල නිවාඩු අවලංගුයි

 

සිම්බාබ්වේ හමුදාව විසින් එරට ජනපති රොබට් මුගාබේ නිවාස අඩස්සියේ රඳවාගෙන ඇති බව දකුණු අප්‍රිකා ජනාධිපති ජාකොබ් සුමා පවසයි.

තමන් යහතින් සිටින්නේ යැයි සිම්බාබ්වේ ජනපති දුරකථන ඇමතුමක් ඔස්සේ පැවසු බව දකුණු අප්‍රිකා නායකයාගේ කාර්යාලය සඳහන් කර තිබේ.

15 බදාදා සිම්බාබ්වේ රාජ්‍ය රුපවාහිනිය අත්කරගැනීමෙන් අනතුරුව භට පිරිස් හරාරේ අගනුවර මුරකාවල් යොදා ඇත.

සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ ඇතුළු ඔහුගේ පවුලේ ආරක්ෂාව සහතික කර ඇතැයි රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේජර් ජනරාල් SB මොයෝ පවසා තිබේ.

රට සමාජීය සහ ආර්ථිකමය වශයෙන් පිඩාවට පත් කිරීමේ අපරාධය සඳහා හේතු වුනු, ජනපති වටා සිටින “අපරාධකරුවන්” පමණක් සිය ඉලක්කය වන බවත් තාවකාලිකව රටෙහි බලය ලබා ගැනීමෙන් ඔවුන් යුක්තිය ඉදිරියට පමුණුවන බවත් ඔහු පවසා ඇත.

“අනවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවම කර සන්සුන්ව සිටින ලෙස අපි සිම්බාබ්වේ වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම සාමාන්‍ය පරිදි කටයුතු සිදු කරමින් සිය අයිතීන් සහ නිදහස භුක්ති විඳිනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. අපේ මෙහෙයුම් අවසන් වූ පසු තත්වය සාමාන්‍ය අතට හැරේවි.”

රාජ්‍ය බලය හමුදා පාලනයකට යට කර තිබුනත් මෙම මෙහෙයුම හමුදා කුමන්ත්‍රණයක් නොවන බව මේජර් ජනරාල් SB මොයෝ පවසයි.

“මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බව රට ඇතුලත සහ පිටත සිටින ජනතාවට දැනුම් දීමට කැමතියි,” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.

 

හමුදා නිවාඩු අවලංගුයි

කෙසේ වෙතත්,  සියලු ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් තම තමන්ගේ සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙසත් හමුදාව දැනුම් දී තිබේ.

හමුදා ක්‍රියාකාරිත්වය  මෙහෙයවනු ලබන්නේ කවුරුන් විසින් දැයි පැහැදිලි නැත.

දකුණු අප්‍රිකා සංවර්ධන ප්‍රජාව විසින් විශේෂ නියෝජිතයන් පිරිසක් සිම්බාබ්වේ රටට යවන බව ජනපති ජාකොබ් සුමාගේ කාර්යාලය පවසයි.

“අද උදැසනම ජනාධිපති සුමා විසින් සිම්බාබ්වේ ජනපති මුගාබේ වෙත දුරකථනය ඔස්සේ කතා කළා. ඔහු නිවාස අඩස්සියේ පසුවන නමුත් යහතින් සිටින බව එහිදී අඟවා තිබෙනවා.”

93 හැවිරිදි රොබට් මුගාබේ 1980 එනම්, බ්‍රිතාන්‍ය කිරීටයෙන් සිම්බාබ්වේ නිදහස ලැබූ වසරේ පටන් එරට පාලකයෙක් ලෙස කටයුතු කරයි. ඔහු ජනපති ධුරය දරන්නේ 1987 සිටය.

Related posts

Comments are closed.

Top