මියන්මාරය “ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුතුයි”

 

ජාත්‍යන්තර වශයෙන් මතබේදයට තුඩුදුන් මියන්මාර රඛයින් ප්‍රාන්ත ඛේදවාචකයෙන් රෝහින්ග්‍යා වැසියන් ඝාතනය නොවූ බව සඳහන් කරමින් මියන්මාර හමුදාව නිකුත් කළ වාර්තාව “අයුක්ති සහගත” බැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අනිවාර්යයෙන් විමර්ශනයක් සිදු කළ යුතු යැයි මානව හිමිකම් සංවිධානයක් අවධාරණය කරයි.

හියුමන් රයිට්ස් වොච්, රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධානයේ ආසියානු කලාපිය විධායක අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

“බුරුම හමුදාව විසින් මෙසේ අයුක්ති සහගත ලෙස උත්සාහ දරන්නේ සිදු කළ මහා පරිමාන භීෂණයෙන් තමන් නිදහස් වීමටයි.  ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් ස්වාධීන විමර්ශනයක් අවශ්‍ය වන්නේ, අදාල කරුණු තහවුරු කරගෙන වගකිව යුත්තන් හඳුනා ගැනීමටයි,” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ.

“සාධාරණ විමර්ශනයක් සිදු කිරීමට ඔවුන්ට නොහැකි බවත්, අනවශ්‍ය බවත් නැවත වතාවක් බුරුමය විසින් පෙන්වා දී තිබෙනවා.”

 

 

පොලිස් මුරපොල කිහිපයක් ඉලක්ක කරගනිමින් රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් අගෝස්තු 25 වැනිදා එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාරයෙන් පසුව හමුදාව අලුතින් දියත් කළ දරුණු මෙහෙයුම් නිසා “අහිංසක ජනතාව මිය නොගිය” බව සඳහන් වාර්තාව එලි දක්වන ලද්දේ 13 සඳුදා ය.

අගෝස්තු ප්‍රහාරයෙන් පසුව “ත්‍රස්තවාදීන්” 376 දෙනකු ඝාතනය කළ බව එමඟින් එරට හමුදාව ප්‍රකාශ කර තිබේ.

බුරුමයේ හටගත් මෙම අර්බුදකාරී වාතාවරණය නිසා අගෝස්තු 25 පටන් දශලක්ෂයකට ආසන්න පිරිසක් මියන්මාරයේ සිට අසල්වැසි බංග්ලාදේශය වෙත පලා විත් ඇති බව එක්සත් ජාතීන්ගේ බංග්ලාදේශ නියෝජිතයන් පවසා තිබුණි.

එසේ පලා ඇවිත් බංග්ලාදේශ සරණාගත කඳවුරු වල වෙසෙන බොහෝ දෙනා චෝදනා කර සිටින්නේ ළමුන්, කාන්තාවන් මෙන්ම පුරුෂයන්ට එරෙහිව ඝාතන, වද හිංසා පැමිණවීම් සහ දුෂණය කිරීම් ආදිය සිදු කළ බවයි.

ප්‍රමාණවත් සාක්ෂි හමුවුණා

මියන්මාර සාමාන්‍ය ජනතාව ඝාතනයට සහ වද හිංසාවට ලක් කළ බව සඳහන් ප්‍රමාණවත් සාක්ෂි බංග්ලාදේශයේ සිටින සිය පරීක්ෂකයන් විසින් සොයා ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ජෙරමි ලෝරන්ස් පවසා ඈත.

“සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අපගේ නිරීක්ෂණ  ඉතා පැහැදිලියි. අපි සොයාගත් දෑ සිදුව ඇත්තේ රඛයින් ප්‍රාන්තයේ… එය වාර්ගික ශුද්ධයකට පෙළපොත් උදාහරණයක්, ඝාතන, දුෂණ, අඩන්තේට්ටම්, මිනි මැරුම්, වද හිංසා. නිතර නිතර අපට මේ කරුණු අසන්නට ලැබුනේ ජනතාවගෙන්,” යැයි ලෝරන්ස් ප්‍රකාශ කරයි.

ස්වාධින විමර්ශනයක් අවශ්‍යයි

මියන්මාර රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ස්වාධින විමර්ශනයක් පැවැත්විය යුතු බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටයිලර්සන් පවසා තිබේ.

මෙම අර්බුදය පිළිබඳව එක්සත් ජනපදය සැලකිලිමත් වන නමුත් බුරුමයට එරෙහිව සම්බාධක පැනවීම සුදුසු නොවන බව ඔහු පෙන්වා දී ඇත්තේ 15 බදාදා මියන්මාර පාලක පක්ෂ නායිකා අවුන් සාන් සුචි සහ එරට හමුදා ප්‍රධානියා මුණ ගැසුණු පසුවය.

Related posts

Comments are closed.

Top