නැවත හිස ඔසවන ක්‍රිස්තියානි විරෝධී අකටයුතු ගැන කතෝලිකයන්ටත් චෝදනා | VIDEO

සුළුතර ජනකණ්ඩායම් වලට ආරක්ෂාව ලබාදීම සඳහා පියවර ගතයුතු බවට ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී රජයට නිර්දේශ ඉදිරිපත් කෙරෙද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි බැතිමතුන්ට සහ වන්දනා ස්ථාන වලට එරෙහිව පසුගිය දෙමාසය තුලත් ප්‍රහාර සහ වෙනස්කම් පෑම් මාලාවක් එල්ලවීම පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ.

සැප්තැම්බර් සහ ඔක්තෝබර් කාලසීමාව තුල එවැනි අඩන්තේට්ටම් දහතුනක තොරතුරු තමන් වෙත වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය (NCEASL) පවසයි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන්ට, ප්‍රචණ්ඩ බෞද්ධ කල්ලිවලට මෙන්ම මුල්ම වතාවට කතෝලික පල්ලියටත් චෝදනා එල්ල වී ඇත.

ධර්මදාන සන්ධානය විසින් එක්රැස් කරගෙන තිබෙන අලුත්ම තොරතුරු අනුව වර්තමාන පාලනය යටතේ ක්‍රිස්තියානි ආයතන වලට එරෙහිව එල්ලවී ඇති පීඩාවන් සංඛ්‍යාව 200 ඉක්මවයි.

එම සංවිධානය විසින් මීට ඉහතදී නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන අනුව වර්තමාන රජය බලයට පත්වූ දා සිට මේ වසර මැද වන විට ක්‍රිස්තියානි වන්දනා ස්ථාන 190කට වැඩි සංඛ්‍යාවක් ප්‍රහාරයට ලක් වී තිබුනි.

කුරුණෑගල පිහිටි කතෝලික පාසල් දෙකක් දරුවන් ඇතුලත් කරගැනීමේදී වෙනස්කම් පා ඇති බවට තොරතුරු ලැබී තිබේ.

ධර්මදාන සන්ධානය වෙත ලැබී ඇති තොරතුරු අනුව ශාන්ත ආනා පිරිමි පාසලත්, ශුද්ධවූ පවුලේ බාලිකා විද්‍යාලයත් සිසුන් තිදෙනකුට පාසල් අධ්‍යාපනය ලැබීමේ ඉඩකඩ වලකා ඇත්තේ ඔවුන් ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් ක්‍රිස්තියානි නිකායේ සාමාජිකයන් වීම නිසාය.

වතිකාන නිර්දේශය

වෙනත් ක්‍රිස්තියානි නිකායක දරු දැරියන්ගේ අධ්‍යාපනයේ අයිතියට කතෝලික පාසල්වලින් එයාකාරයෙන් බාධා පැමිණ ඇත්තේ සෑම ආගමකටම අයත් වූවන්ට සම සැලකිල්ල සහතික කරන ලෙස වතිකානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබියදීය.

ක්‍රිස්තියානි මධ්‍යස්ථානයකට එල්ලවූ මෑතම ප්‍රහාර මාලාව වාර්තාවන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙනි.

වැඳුම් පිදුම් කරද්දී බකමූණේ ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් වන්දනා ගෘහයකට ඇතුළුවූ බෞද්ධ භික්ෂුන් පෙරටුකොටගත් කණ්ඩායමක් විසින් ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් දේවගැතිවරයා පොලිසියට පැමිණිලි කර ඇත.

එයින් එක් අවස්ථාවක් දැක්වෙන වීඩියෝ දර්ශන ගගන වෙත ලැබී තිබේ.

“මේක සිංහල බෞද්ධ රට, එකෙකුට වත් වෙන ආගම් ප්‍රචාරය කරන්න දෙන්නේ නෑ,” යනුවෙන් තර්ජනය කරන ආකාරය වීඩියෝවෙන් ඇසේ.

දේවස්ථානයට පැමිණ සිටි දරුවන්ටද තර්ජනය කරනු පටිගත වී ඇත.

ඔක්තෝබර් පළමු වැනිදා සිට 22 දා දක්වා අඩුම වශයෙන් පස් වතාවක් එල්ලවූ තර්ජන හා ප්‍රහාර සම්බන්ධයෙන් පැමිණිලි කළ දේවගැතිවරයාට ඒකරාශී වී ආගමික කටයුතු නොකරන ලෙස බකමුණ පොලිසිය නියම කර ඇති බව NCEASL  පවසයි.

මූලික අයිතියක්

තමන් කැමති ආගමක් ඇදහීම ව්‍යවස්ථාවෙන් සලසා දී ඇති අයිතියක් බව පොලිස් නිලධාරියාට පැහැදිලි කර දී ඇති  දේවගැතිවරයා ඒ සම්බන්ධ විරෝධයක් වේ නම් අධිකරණය හමුවට යන ලෙස පොලිසින් ඉල්ලා තිබේ.

මීට අමතරව, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරියේ ක්‍රිස්තියානි සහෝදරත්වයේ දේවස්ථානයක දේව මෙහෙය පැවැත්වෙද්දී සැප්තැම්බර් මස මුලදී ගම්වාසීන් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් දේවගැති වරයා පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

ප්‍රහාරයට වගකිව යුතු බෞද්ධ කලහකාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු වෙනුවට ඉංගිරියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා ඇත්තේ දේවස්ථානය ලියාපදිංචි කිරීම සඳහා ලියවිලි ලබා දීමයි.

එය බුද්ධ සාසන හා ආගමික කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් අනුව සිදුකළ යුතු බව පොලිසියේ පැහැදිලි කිරීම වී තිබේ.

එයින් පසු දිනක පැමිණි ප්‍රාදේශීය සභා නිලධාරීන් දේවගැතිවරයාට දැනුම් දී ඇත්තේ යාඥා ගෘහය අනවසර ඉදිකිරීමක් බවයි.

එම ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලද ඉදිකිරීමක් බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය පවසයි.

වන්දනාස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් බුද්ධාගමට නැති තහංචි ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් සුළුතර ආගම්වලට පනවා ඇති බව  බව ජාත්‍යන්තර විමර්ශන වාර්තා වලින් පෙන්වා දී තිබේ.

ඉංගිරියේ ක්‍රිස්තියානි සහෝදරත්වයේ දේවස්ථානය 2011 දීද ප්‍රහාරයට ගොදුරුවී තිබුනි.

හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජා විරෝධය මධ්‍යයේ බෞද්ධ නොවන කලාප වල බුදු පිළිම ඉදිකිරීමට ඉඩ දෙන රජය, නිශ්චිත නීතියක් නැතුවත් ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරක දේවස්ථාන ලියාපදිංචි කිරීමට බල කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ආගමික නිදහස සම්බන්ධයෙන් පසුගිය වසරේ නිකුත් කළ වාර්තාවකින් පවසයි.

දොළොස්දාහකට පුහුණුව

මේ අතර වෙන්නප්පුවේ නව ශුභාරංචි පදනම දේවස්ථානයට කඩාවැදුනු පනහක පමණ කණ්ඩායමක් කාන්තාවන් ඇතුළු කිතු බැතිමතුන්ට පහර දීමට ගත් උත්සාහයක් පිළිබඳව දායකයන් මාරවිල පොලිසියට සැප්තැම්බර් 28 දා පැමිණිලි කර තිබේ.

වර්තමාන පාලනය යටතේ සිදුවූ ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර පිළිබඳව ඉකුත් ජූනියේ ප්‍රසිද්ධියේ කරුනු දැක්වූ මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස්, ජනාධිපතිවරයාගේ, හිටපු අධිකරන ඇමැති වරයාගේ සහ කොළඹ අගරදගුරුන්ගේ දෝෂ දර්ශනයට ලක්වීම දේශීය හා ජාත්‍යන්තර විරෝධයකට හේතු විය.

අන්තර් ආගමික ගැටුම් වලට ගොදුරු වීමේ අවදානමක් සහිත ශ්‍රී ලංකාවේ කලාප හඳුනාගෙන තිබෙන ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය ගැටුම් පරිවර්තනය සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ඇති බව රජය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එක්ව දියත් කර ඇති එම පුහුණුව සඳහා විවිධ ක්ෂේත්‍රවල සර්වාගමිකයන් 12,000ක් සහභාගි කරගන්නා ලද බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ජිනීවා නුවර පැවැත්වූ සර්ව වාරික සමාලෝචනයට රජය  විසින් දැනුම් දී තිබුනි

Related posts

Comments are closed.

Top