හිදැස: තෙල් අවුල, දෙමළ පක්ෂ-ශ්‍රීලනිප ඇතුලේ ගැටුම් හා මංගලගේ අයවැය 

මෙම සතියේදී සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද වඩාත් පුළුල්ව වාර්තා වූ සිදුවීම වූයේ රටටම බලපෑ ඉන්ධන අර්බුදයයි. එසේම ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධ ගැටළුවද තව දුරටත් සැලකිය යුතු තරමේ මාධ්‍ය අවධානයක් ලබාගෙන තිබිණි. විධායක ජනාධිපති ධූරය සම්බන්ධ කතිකාව සමහර විට සිංහල පුවත්පත් තුළ ඉහළම සුවිශේෂීත්වයක් ලබාගත් යුදපිටිය වූ බව නිරීක්ෂණය කළ හැකි වුවත්, දමිළ පුවත්පත් මත දැක්වීම් මගින් දිගින් දිගටම ව්‍යවස්ථා සංශෝධන කතිකාවේ වූ මෙම මූලික අංගය නොසලකා හැරීමට කටයුතු කොට තිබිණි. එසේම භාෂා දෙකේම පුවත්පත් තුළ ලඟ එන පළාත් සභා මැතිවරණයන්ට සම්බන්ධ ප්‍රවෘත්ති ප්‍රමාණයද සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී තිබූ බවද නිරීක්ෂණය කළ හැකි විණි. මෙම මාතෘකාව සම්බන්ධයෙන් ගත් විට දමිළ පුවත්පත් වාර්තාකරණය තුළ ප්‍රධාන අවධානය දිනාගෙන තිබුණේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ සහ ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ අතර මැතිවරණය වෙනුවෙන් නව සංධානයක් ඇතිවීමත්, දෙමළ ජාතික සන්ධානය තුළ පවත්නා භේද බින්න වීම් ය. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් සිංහල පුවත්පත් තුළ සැලකිය යුතු මට්ටමකින් අවධානය දිනා ගෙන තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පිල සහ රාජපක්ෂ පිල අතර පවත්නා ගැ‍ටුමයි.

කාටූනය සඳහා අනුග්‍රහය: තිනකුරල් | ඉහළ: ඉන්ධන අර්බුදය | පහළ: යහපාලනය

ඉන්ධන අර්බුදය: කුමන්ත්‍රණයක්ද?

මේ සම්බන්ධ සිංහල සහ දමිළ පුවත්පත් වාර්තාකරණය අතර එකිනෙකට වෙනස් වූ මත දෙකක් පැන නැගී තිබිණි.

මූලිකවම ගත් විට සිංහල පුවත්පත් මෙම ගැටළුවට මුල් වූ හේතුව සම්බන්ධයෙන් අවිනිශ්චිත තැනක සිටි නමුත්, දමිළ පුවත්පත් විශාල වශයෙන්ම මෙම ඉන්ධන හිඟය සිතාමතාම කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යන මතය ඉදිරිපත් කොට තිබිණි.

මෙම ගැටළුවේ මූලාශ්‍රය වූයේ කෙටි පණිවුඩ හරහා පැන නැඟුණු ව්‍යාජ අනතුරු ඇඟවීම බවට ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග විසින් කළ ප්‍රකාශය දමිළ පුවත්පත් මගින් විශේෂයෙන් වාර්තා කොට තිබිණි. බදාදා වීරකේසරී පුවත්පතේ සිරස්තල ප්‍රවෘත්තිය හරහා ප්‍රශ්න කෙරී තිබුනේ මෙම අර්බුදය සැබවින්ම කුමන්ත්‍රණයක් නිසා සිදුවූවක්ද යන්නයි. බ්‍රහස්පතින්දා වීරකේසරී පුවත්පතේ සිරස්තලය මගින් ඉදිරිපත් කෙරී තිබුණේ, ‘රජය විසින් සැකයක් නැතිවම කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් පමුණුවන’ බවට අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කළ ප්‍රකාශයයි. ප්‍රකට සති අන්ත දේශපාලන අතිරේකයක වූ “ඉන්ධන කුමන්ත්‍රණය” ලෙසින් සිරස්තල යෙදුණු මත දැක්වීම් ලිපියකින් ප්‍රතිරාව දී තිබුණේ, මාධ්‍ය තුළ වූ යම් යම් කොටස් මගින් සදොස් ලෙසින් කළ වාර්තාකරණයන්ගේ ප්‍රතිඵලයක් ලෙසට රටවැසියන් බියට පත්වී ඉන්ධන මිලදී ගැනීමට යාමෙන් මෙම හිඟය ඇතිවූ බවට රජය විසින් ඉදිරිපත් කළ අදහසයි. කෙසේ වුවද දමිළ පුවත්පත් විස්තර ප්‍රකාශ මගින් මෙම සිදුවූ බව පැවසෙන කුමන්ත්‍රණය විශේෂයෙන් අයෙකුට හෝ කණ්ඩායමකට බැර කිරීමෙන් හෝ එවැනි කුමන්ත්‍රණයක් පි‍ටුපස ඇති අභිමතාර්ථයන් පෙන්වා දීමෙන් හෝ වැළකී සිටින්නට යෙදිණි.

දෙවෙනුව, මෙම ගැටළුව සම්බන්ධයෙන් වූ දමිළ ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ රජයේ ක්‍රියාකාරිකයන් ඉතා ප්‍රබල ලෙසින් ආධිපත්‍යය දරා සිටි බව පෙනිණි. රජයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් නඟා තිබූ විවේචනයන්ට සිංහල පුවත්පත් තුළ සැලකිය යුතු ප්‍රමුඛතාවයක් ලැබී තිබුණත්, දමිළ පුවත්පත් තුළ ඒ සම්බන්ධව අවම වාර්තාකරණයක් වූ බව පෙනී ගිය කරුණකි. එම නිසා යම් විටක මෙම ගැටළුවට හේතුව රජයේ අවපාලනය විය හැකි බව සැලකිල්ලට ගැනීම හෝ, විශේෂයෙන්ම මෙම අර්බුදය කළමනාකරණය කිරිමට පටන් ගත යුත්තේ කෙසේද යන්න විෂයෙහි විමර්ශණයන් විශාල වශයෙන්ම දක්නට නොලැබුණි.

 

දමිළ පුවත්පත් 2018 අය වැයට අත උස්සයි

සිංහල පුවත්පත් වලට ප්‍රතිවිරුද්ධ ලෙසින්, 2018 වසර සඳහා රජයේ අය වැය දමිළ පුවත්පත් මගින් අනුමත කරන්නට යෙදිණි.

මංගල සමරවීරගේ අය වැය කතාවෙන් පසු දිනයේදී වීරකේසරී පුවත්පත මගින් ප්‍රකාශ කරන්නට යෙදුණේ, මෙම අය වැය සංහිඳියාව සඳහා හිතකර වන බවයි.  තිනකුරල් ප්‍රධාන සිරස්තල ප්‍රවෘත්තියේ වූ උප සිරස්තලයක් මගින් ප්‍රකාශ කෙරුණේ මුදල් ඇමැතිවරයා විසින් උතුර සංවර්ධනය කිරීම ඉලක්ක කොටගත් යෝජනාවලියක් ඉදිරිපත් කරන්නට යෙදුණු බවයි. උදයන් කතුවැකිය මගින් යෝජනා කොට තිබුණේ, යුද්ධය නිමාවීමෙන් පසුව උතුර සහ යුද්ධයෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් වන සුවිශේෂී හා අවශ්‍ය යෝජනාවන්ගෙන් සමන්විතව ඉදිරිපත් වුණු පළමු අය වැය වන්නේ මෙය බවයි. මයිලිඩ්ඩි වරාය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් සුවිශේෂී නිවාසයක් ඉදි කිරීමේ යෝජනාව සහ කාන්තාවන් මූලිකත්වය දරණ නිවස්න වෙත ජීවිකා සහාය ලබාදීමේ ප්‍රතිඥාව යන කරුණු එහිදී සුබවාදී ලෙසින් උපුටා දක්වා තිබුණි. ගඩොලින් බැඳ හුණුපිරියම් කළ නිවාස 50,000 ක් ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සහ උතුරේ වැසියන්ගේ ණය බර අඩු කිරීම ඉලක්ක කරගනිමින් ඉදිරිපත් වූ යෝජනාවන් වීරකේසරී කතුවැකියක් මගින් ප්‍රශංසාත්මකව පිළිගෙන තිබිණි.

එසේ වුවත් දමිළ පුවත්පත් මත තුළ පුළුල් වශයෙන් වූ විවේචන දෙකක් පැන නැගී තිබිණි. (1) දමිළ පුවත්පත් තුළ වූ යම් යම් කොටස් මගින් මහජනතාව වෙත ජීවන වියදම සම්බන්ධයෙන් සහනශීලී බවක් ලැබී නොමැති වීම සෘණාත්මකව දැක තිබූ නමුත්, එවැනි විවේචන දිගින් දිගටම දක්නට නොලැබුණි. (2) උතුර සඳහා විශේෂ වූ දීර්ඝ කාලීන ආර්ථික දැක්මක්නොමැති වීමද උදයන් පුවත්පත මගින් විවේචනය කෙරී තිබිණි.

දමිළ පුවත්පත් විමංසාව තුළ දක්නට ලැබුණු දෝෂ පහත පරිදි වේ. මූලිකව සිංහල පුවත්පත් මෙන්ම දමිළ පුවත්පත්ද සැබවින්ම අය වැය වෙත අවධානය දක්වනවාට වඩා විශේෂයෙන්ම අවධානය යොමු කොට තිබුනේ මුදල් ඇමැතිවරයාගේ කථාවටයි. දෙවෙනුව, දමිළ පුවත්පත් තුළ අය වැය සම්බන්ධයෙන් වඩාත් පෘතුලව පැතිරුණු දෘෂ්ටියක් දක්නට නොලැබුණු අතර, ඔවුන්ගේ විචාරය සහමුලින්ම පදනම්ව තිබුණේ උතුර සම්බන්ධයෙන් අය වැයේ වූ යෝජනා වෙත පමණි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top