දරුවන්ට අමානුෂික වද දෙන ඕස්ට්‍රේලියානු පරිවාසයක් වැසීමට නිර්දේශ

 

දරුවන් අපයෝජනයට ලක් කරන බවට බරපතල චෝදනා ලබා සිටි ඕස්ට්‍රේලියානු “තරුණ පරිවාස මධ්‍යස්ථානයක්” වසා දැමිය යුතු බව එරට ප්‍රධාන විමර්ශන වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.

ඩිලන් වොලර් නම් 17 හැවිරිදි තරුණ පිරිමි ළමයෙකුගේ හිස සම්පුර්ණයෙන් ආවරණය කර ඔහු පුටුවක බැඳ දමා ඇති අයුරු ඇතුළුව, එහි වෙසෙන රැඳවියන්ට ඉතාමත් පහත් අයුරින් සලකන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පසුගිය වසරේදී ABC රුපවාහිනී ආයතනයේ “ෆෝ කෝනර්ස්” නම් වැඩසටහන ඔස්සේ විකාශය කර තිබුණි.

බහුතරයක් ආදිවාසී දරුවන් රඳවා සිටින උතුරු පළාතේ පිහිටි “ඩාවින්ස් ඩොන් ඩේල් යුත් සෙන්ටර්” නම් මෙම කඳවුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විසින් රාජ්‍ය කොමිසමක් පත් කිරීමට මාධ්‍ය හෙළිදරව්ව හේතු විය.

ඒ අනුව කොමිසම ආරම්භ කරන ලද්දේ 2016 සැප්තැම්බර් මසදීය.

කඳවුර වහාම වසා දමන්න

කොමිසමේ සාමාජිකයන් වන මාගරට් වයිට් සහ මික් ගුඩා විසින් 17 සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු වාර්තාවේ දැක්වෙන්නේ “තරුණ රැඳවුම් මධ්‍යස්ථානය” වහාම වසා දැමිය යුතු බවයි.

කඳවුරේ රැඳවියන් අවභාවිතයට, සිරකිරීම්වලට සහ වාචික හිංසනයට ලක් කිරීම ඇතුළුව “නිතිපතා, නැවත නැවතත් ඛේදජනක අපයෝජනයන්ට භාජනය වී ඇත” යි විමර්ශනය මඟින් පෙන්වා දී තිබේ.

“මේවා අපේ ඇස් මායිමේ, අපේ රටේ ඒ වගේම අපේ ළමයින්ට යි සිදු වෙලා තියෙන්නේ,” යනුවෙන් කොමිසමේ සාමාජිකයන් පවසා ඇත.

 

 

වාර්තාව සඳහා සාක්ෂිකරුවන් 214 දෙනකුගෙන් විමසීම් කර ඇති අතර සාක්ෂි සටහන් 480 ක් විභාගයට ගෙන තිබේ.

බරපතල අපරාධ හැර සෙසු වයස අවුරුදු 14 ට අඩු ළමුන්ගේ රැඳවුම් කාලය අවසන් කිරීම, අපරාධ වගකීම් භාර ගන්නා අවම වයස ලෙස සැලකු අවුරුදු 12 වයස අවුරුදු 14 දක්වා ඉහල නැංවීම, කඳුළු ගෑස් භාවිතය ද රැඳවුමේ සිටින ළමුන්ට බලහත්කාරකම් කිරීම ද සිරුරට පළඳින කැමරා හඳුන්වා දීම ද තහනම් කිරීම, දඬුවම් ක්‍රම වෙනුවට ප්‍රතිකාර සහ පුනරුත්ථාපන ක්‍රම හඳුන්වා දීම, ආදිවාසි කණ්ඩායම් සමඟ සබඳතා වැඩි දියුණු කරගැනීම (කඳවුරේ සිටින විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ඇබෝර්ජින්වරුන් නිසා මෙම පියවර නිර්දේශ කර ඇත) වාර්තාවේ අවසන් නිර්දේශ ලෙස දැක්වේ.

වාර්තාවේ නිරීක්ෂණ සිය රජය විසින් “සුපරික්ෂාකාරිව සමාලෝචනය” කර බලන නමුත් එහි වැඩි වගකීම උතුරූ පළාත් ආණ්ඩුව සතු බව ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි.

නිර්දේශ අනුව පියවර ගැනීමට පොරොන්දු වෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය මිෂෙල් ගනර් කියා තිබුනේ “මීට පෙර තිබු බොහෝ වාර්තාවලට වුනා සේ මේකටත් රාක්කයක් උඩ දූවිලි කකා ඉන්න දෙන්න බෑ,” යනුවෙනි.

අපරාධ චෝදනා එල්ල කළ යුතුයි

මේ සඳහා වගකිව යුත්තන් වෙත අපරාධ චෝදනා එල්ල කිරීමට ඕස්ට්‍රේලියානු රජය සහ ප්‍රාදේශීය නිලධාරීන් කටයුතු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අවධාරණය කරයි.

“ඕස්ට්‍රේලියානු රජය සහ ප්‍රාදේශීය නිලධාරීන් හැකි ඉක්මනින් මේ ක්‍රියා නතර කිරීමට කටයුතු සැලසිය යුතුයි, වගකිව යුත්තන් හඳුනාගෙන අපරාධ චෝදනා ඇතළු ඒ සඳහා සුදුසු දඬුවම් ලබා දිය යුතුයි,” යනුවෙන් ඔවුන් පවසා ඇත.

 

Related posts

Comments are closed.

Top