සෞදි කුමාරිකාවගේ “ලිංගික වහල්” කතාව අතේ රෝලක්!

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක දරුවන් සෞදි අරාබියේ ලිංගික වහල් ජාවාරමේ විකිණෙන්නේ යැයි එරට රාජ කුමාරිකාවක් පැවසූ බවට මුල් පෙලේ ජනමාධ්‍ය ගණනාවක පළවූ තොරතුර අසත්‍ය යැයි හෙළිදරව් වී තිබේ.

කොළඹින් පලකෙරෙන “ඩේලි මිරර්” පුවත්පත ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ මාධ්‍ය ගණනාවක මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද පසුගිය සතියේ ප්‍රකාශයට පත් කෙරුනේ ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල දරුවන් ලිංගික වහලුන් ලෙසින් විකිණෙන බව සවුදි කුමරියක වන අමීරා බින්ත් අයිදන් බින් නායෙෆ් ප්‍රංශයේ “ලුමොන්ද්” (Le Monde) පුවත්පත සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටි බවයි.

ජාත්‍යන්තර කීර්තියක් හිමි Le Monde පුවත්පත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති පරිදි අමීරා අල් තාවිල් යනුවෙන්ද ප්‍රකට අමීරා බින්ත් අයිදන් බින් නායෙෆ් සෞදි කුමාරිකාවගේ යැයි මාධ්‍යවල සඳහන් සම්මුඛ සාකච්ඡාව හිතලුවකි.

“ලුමොන්ද් පුවත්පතේ පල වුනේ යයි බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය විසින් පළකර ඇති අල් තාවිල් කුමාරිකාවගේ සම්මුඛ සාකච්ඡාව හිතලුවකි, එවැන්නක් කිසිදා ලබා දී නැතැ,” යි  Le Monde පුවත්පත නොවැම්බර් 15 දා ප්‍රකාශයට පත් කර තිබේ.

“ඉරාන ප්‍රවෘත්ති සේවාවක් වන තස්නීම් සහ ශ්‍රී ලංකාවේ ඩේලි මිරර් සඳහන් කරන පරිදි මත්පැන් සහිත ධුර්ත කෙලිද, මත්ද්‍රව්‍ය හා ළමා ජාවාරම් සහිත ජෙඩා නුවර වහල් වෙළෙඳාමක් ගැන පවසයි,” යනුවෙන් එහි සඳහන් වේ. “දානමය සහ ප්‍රගතිශීලී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රකට අමීරා අල් තාවිල් Le Monde පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් නොදුන් බව අවධාරණය කරන්නෙමු. එමනිසා, ඇය කී බවට සඳහන් කෙරෙන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍යය.”

ශ්‍රී ලංකාවට ආධාර

ඩේලි මිරර් පුවත්පත මෙම අසත්‍ය ප්‍රවෘත්තිය උපුටාගෙන ඇත්තේ Fort Russ නම් රුසියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් නොවැම්බර් 6 දා පලකළ ලිපියකින් විනා තම මාධ්‍ය ප්‍රකාශනයෙන් නොවන බවද Le Monde වැඩිදුරටත් පෙන්වා දෙයි.

අමීරා අල් තාවිල් කුමාරිකාවගේ නායකත්වයෙන් යුත් දරිද්‍රතාව නැතිකිරීම, ආපදා සහන, අන්තර් සාමයික සංවාදය සහ කාන්තාවන් බලගැන්වීම වෙනුවෙන් ලොවපුරා ආධාර කරන අල් වලීඩ් පදනම ශ්‍රී ලංකාවේ සියයකට අධික සංඛ්‍යාවක් බිලිගත් 2016 රෝනු සුළිසුළඟින්  විපතට පත්වුවන්ට සහන සැලසීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සම්මානයටත් පාත්‍රවී තිබේ.

කුමාරිකාව සවුදි කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නියකි.

රුසියානු පුවත පළවූ දිනයේම අල් වලීඩ් පදනමේ සභාපතිත්වය දරන ධන කුවේර අල් වලීඩ් බින් තලීල් කුමාරයා ඇතුළු කුමාරවරුන් 11 දෙනකු සවුදි ආණ්ඩුව විසින් දූෂණ වංචා චෝදනා යටතේ නිවාස අඩස්සියේ තබා තිබේ.

ප්‍රවෘත්තියක් පලකරන විට මූලාශ්‍ර නිසියාකාර තහවුරු කරගැනීමේ ආචාරධර්මය පමණක් නොව වරද නිවැරදි කර පාඨකයන්ට දැන්වීමේ සදාචාරයද සවුදි කුමාරිකාවගේ කතාව පල කිරීමේදී කඩ වී ඇති බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිරීක්ෂණ මධ්‍යස්ථානයක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

මාධ්‍ය ආචාරධර්ම

“පුවත්පතකට යම් ප්‍රවෘත්තියක් හෝ විශේෂාංග ලිපියක් සම්පාදනය කිරීමේදී නිල වශයෙන් තොරතුරු ඉදිරිපත් කර ඇති මූලාශ්‍රයක් නොමැති නම්, එක් මූලාශ්‍රයක් මත නොයැපී මූලාශ්‍රයන් එකකට වැඩි සංඛ්‍යාවක් භාවිතයෙන් එම තොරතුරු තහවුරු කරගැනීම පිළිගත් මාධ්‍ය ආචාර ධර්මයකි,” යි ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආචාර ධර්ම නිරීක්ෂණයේ යෙදෙන “එතික්ස් අයි” පවසයි. “මෙය සාපේක්ෂව වෙහෙසකර විය හැකි වුවත්, පුවත්පතකින් ඉදිරිපත් කරනා කරුණු සම්බන්ධයෙන් පුවත්පත් කලාවේදියෙකු විසින් සිදුකළ යුතු ගවේෂණය වන්නේ මෙයයි. එයට හේතුව වන්නේ සමාජයට සෑමවිටම නිරවද්‍ය තොරතුරු සැපයීම පුවත්පතක අනිවාර්ය වගකීමක් වන නිසාවෙන් බව කිව හැක.”

Le Monde පුවත්පත කුමාරිකාවගේ සම්මුඛ සාකච්ඡාව පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීමෙන් පසුත් ඒ සම්බන්ධයෙන් පාඨකයා දැනුවත් නොකිරීම සම්බන්ධයෙන්ද “එතික්ස් අයි” ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දෝෂ දර්ශනයට ලක් කරයි.

තාමත් පරක්කු නෑ

ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය ලුමොන්ද් පැහැදිලි කිරීමෙන් පසුවත් නැති සම්මුඛ සාකච්ඡාවේ තොරතුරු පල කර තිබුනි.

“මෙම ප්‍රවෘත්තිය අසත්‍ය බව දැනගැනීමෙන් පසුව හෝ ඒ බව සිය පාඨකයන්ට දැනුම් දීමේ සහ අසත්‍ය පුවතක් පළ වීම සම්බන්ධව තම කණගා‍ටුව පළ කිරීමේ නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමද යහපත් මාධ්‍ය සදාචාරයක් වේ,” යි “එතික්ස් අයි” පවසයි.

“ඒ සඳහා තවමත් ප්‍රමාද නොවන බව පමණක් අප මෙසේ සටහන් කරමු.”

Related posts

Comments are closed.

Top