ඉන්දුනීසියාවේ හමුදා, පොලිස් කන්‍යාභාව පරීක්ෂාව “තහනම් කරන්න”

 

අවමාන සහගත කන්‍යාභාව පරික්ෂාවේ කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර වසර තුනක් ගත වූ පසුත්, නව සාමාජිකාවන් බඳවා ගැනීමේදී ඉන්දුනීසියා හමුදාව සහ පොලිසිය විසින් මෙම අපහාසාත්මක ක්‍රියාපටිපාටිය දිගින් දිගටම අනුගමනය කරන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් පවසයි.

“කන්‍යාභාව පරික්ෂාව” නමින් හැඳින්වෙන මෙම පිළිවෙත තහනම් කිරීම සඳහා එරට ජනපති ජොකෝ විඩොඩෝ විසින් ආරක්ෂක අංශ ප්‍රධානින් වෙත නියෝග ලබා දිය යුතු යැයි හියුමන් රයිට්ස් වොච් රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධානය 22 බදාදා ප්‍රකාශ කර තිබේ.

මානසික සෞඛ්‍ය සහ සදාචාරාත්මක හේතුන් මත මෙම කායික විභාගය සිදු කරන මුවාවෙන් ආරක්ෂක අංශ තවමත් “කෘර සහ කාන්තාවට වෙනස්කමක් කරන පරීක්ෂණය” ක්‍රියාත්මක කරන්නේ යැයි ජ්‍යෙෂ්ඨ ඉන්දුනීසියා පොලිස් සහ හමුදා නිලධාරීන් පැවසු බව ඔවුන් සඳහන් කරයි.

“ආරක්ෂක අංශ විසින් සිදු කරන අනිසි කන්‍යාභාව පිරික්සුම ඉන්දුනීසියා රජය දිගටම ඉවසා සිටීමෙන් එරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා ඇති දේශපාලන උවමනාව ඉතාම පහල මට්ටමක තිබෙන බව පෙන්නුම් කරනවා,” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ කාන්තා අයිතිවාසිකම් නීතිවේදී අධ්‍යක්ෂ නිශා වාරියා පවසන්නීය.

“මෙම පරීක්ෂණය ඉතාම පහත් එකක්. කාන්තාවන්ට වැදගත් රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා ඇති සමාන අයිතිවාසිකම් මේ මඟින් උල්ලංඝනය වෙනවා.”

“ඇඟිලි දෙකේ පිරික්සුම” ද ඇතුලත් මෙම පරීක්ෂණය සිදු කිරීමේ අරමුණ වී ඇත්තේ කාන්තා අයදුම්කරුවන්ගේ කන්‍යාපටලයට හානියක් සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහා ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2014 සම්පාදනය කළ ‘ලිංගික අතවරයට පත් ස්ත්‍රීන් සඳහා සෞඛ්‍ය රැකවරණය’ යන සායනික මාර්ගෝපදේශවල සඳහන් වන්නේ උක්ත පරීක්ෂණවල කිසිදු වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නැති බව යි.

පරීක්ෂණයෙන් අසමත් ලෙස සැලකෙන අයදුම්කරුවන් හට දඬුවම් කිරීම අනිවාර්ය නොවන නමුත් එය ඉතා වේදනාකාරී, අපහසු සහ අප්‍රසන්න අත්දැකීමක් යැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය සමඟ සාකච්ඡා කළ සියලු කාන්තාවන් විස්තර කළ බව ඔවුහු පවසති.

Related posts

Comments are closed.

Top