මානුස් දූපතේ අමානුෂික මෙහෙයුමෙන් මාධ්‍යවේදියකුටත් හිරිහැර| VIDEO 

බේරුස් බුචානි රැගෙන යන අයුරු

ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ඇතුළු සිය ගණනක් රඳවා සිටි මානුස් දූපත් කඳවුරේ සිදු කළ වැටලීමක් අතරතුරදී සම්මානලාභී මාධ්‍යවේදී ඉරාන ජාතික සරණාගතයකු සහ වන බේරුස් බුචානි, පැපුවා නිව් ගිනීයා (PNG) අතුරු සන්නද්ධ පොලිස් නිලධාරීන් විසින් රඳවා තබාගෙන පසුව නිදහස් කර තිබේ.

පසුගිය 31 වැනිදා වසා දැමුණු මධ්‍යස්ථානය තුල සති තුනකට වැඩි කාලයක් තිස්සේ අන්ත අසරණව වෙසෙන ඉතිරි සිය ගණනක් අනාථයන් බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීම සඳහා PNG පොලිසිය, අතුරු සන්න්නද්ධ ජංගම භට පිරිස් සහ ආගමන විගමන නිලධාරීන් 23 බ්‍රහස්පතින්දා උදැසන කඳවුර තුලට ඇතුල් වී ඇත.

පුද්ගලයන් 40 දෙනකු පමණ බලහත්කාරයෙන් බස් රථ තුලට නංවා ගෙන ඇති අතර ඔවුන් නව වාසස්ථාන කරා ගෙන යාමට ඇතැයි සරණාගතයෝ පවසති.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව පවසා සිටින්නේ මෙය තමන්ගේ වගකීමෙන් තොර PNG මෙහෙයුමක් බවයි.

සිය ජිවිත ආරක්ෂා පිළිබඳ ඇති බිය නිසා රැඳවියන් වසා දැමුණු කඳවුරෙන් පිටව යාම මින් පෙරදී ද ප්‍රතික්ෂේප කර තිබුණි.

සරණාගතයන්ට පහර දීලා 

මානුස් දූපතේ සිදුවන අමානුෂික  ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බේරුස් බුචානි නිරන්තරයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් නිරන්තර සැපයූ වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් කිහිපවර පල කර තිබේ.

අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔස්ට්‍රීලියාවේ සහ ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාධාරීන් පලකළ විරෝධයෙන් පසු ඔහු නිදහස් කර යවා තිබේ.

තමන් පැය දෙකකට වැඩි කාලයක් අත්අඩංගුවේ තබාගෙන නිදහස් කළ බව මාධ්‍යවේදියා  ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය.

“මම නිදහස් කළා. මගේ අත්වලට මාංචු දමා කඳවුර පිටුපස ස්ථානයක පැය දෙකකට වැඩි කාලයක් රඳවා තැබුවා. “තමුසේ අපිට විරුද්ධව වාර්තා ලියනවා” කියලා පොලිස් අණදෙන නිලධාරියා මට කෑ ගැහුවා. ඔවුන් කිහිප වතාවක්ම මා තල්ලු කළා. මගේ අයිතීන් උල්ලංඝනය කළා,” යැයි ඔහු සඳහන් කළේය.

එසේම සරණාගතයන් කිහිපදෙනෙකුටම පහර දී බලහත්කාරයෙන් ලොරෙන්ගෝ හි පිහිටි නව වාසස්ථාන වෙත රැගෙන ගිය බව ඔහු පවසයි.

ඉරාන මාධ්‍යවේදී බේරුස් බුචානි අත්අඩංගුවට ගත් හේතුව පැහැදිලි නැති නමුත් “කණ්ඩායමෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඈත් කර තැබීමට හිතාමතා ගත් උත්සහයක්” බව ඇම්නස්ට් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ප්‍රකාශ කර ඇත.

“ඉන් ඔහුගේ මානව අයිතිවාසිකම් වෙලා ඒ වගේම ඉතිරිව සිටින 400 කට වැඩි පුද්ගලයන් සම්බන්ධයෙන් PNGයේ අරමුණු මොන වගේද කියන එක ගැනත් ඉතාමත් දරුණු ඉඟි ලබා දෙනවා,” යැයි ඇම්නස්ටි සංවිධාන  ශාන්තිකර ගවේෂකයකු වන කේට් ෂුවෙට්ස් සඳහන් කර තිබේ.

මානුස් සරණාගත කඳවුරු මෙහෙයුමේ ඡායාරූප සහ වීඩියෝ පට රැඳවියන් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබුනි.

වහාම මැදිහත්වී තමන්ගේ තත්වය යහපත් අතට හැරවීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන වලින් කෙරෙන ඉල්ලීමක් එයින් එක වීඩියෝවක පටිගත වී තිබුනි.

Related posts

Comments are closed.

Top