එදා එපා වූ ප්‍රභාකරන්ගේ සටන ජවිපෙ අද යුක්ති සහගත කරයි | VIDEO

එල්ටීටීඊ සංවිධානයේ අරගලය බෙදුම්වාදී ත්‍රස්තවාදයක් ලෙස හඳුන්වමින් ඊට එරෙහි යුද්ධයට රාජපක්ෂ පාලනයට පූර්ණ සහාය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සන්නද්ධ අරගලයට අවතීර්ණ වීමට ප්‍රභාකරන්ට සිද්ධ වූයේ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අහුරාලීම නිසා බව ප්‍රකාශ කරයි.

දශක තුනකට වැඩි කාලයකට ඉහතදී යාපනයේ දිස්ත්‍රික් සභා මැතිවරණයෙන් තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා නොදීම “ප්‍රභාකරන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් නිර්මාණය කිරීම” දක්වා දුරදිග ගියබව ජවිපෙ නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේ කියා සිටියේ මැතිවරණ කල් දැමීම සඳහා ආණ්ඩුව වංචනික ලෙස කටයුතු කරන බවට චෝදනා කරමිනි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත ඇතුළු පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය අනෙකුත් සියළු නීතිමය ප්‍රතිපාදන සම්මත කර තිබියදී එකී මැතිවරණය නිසි කලට පැවැත්වීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් පළාත් පාලන විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ට එරෙහි ව ජනතා විමුක්ති පෙරමුණත් මහින්ද රාජපක්ෂවාදී මන්ත්‍රී කණ්ඩායමකුත් මේ වනවිට විශ්වාස භංග යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත.

මැතිවරණ වලට බයේ පලායන දේශපාලකයන්ට ඉතිහාසයේ හිමිවූ තැනත් මැතිවරණ කල් දැමීම නිසා ශ්‍රී ලංකාවේ ලේ වැකි ඉතිහාසයත් අධ්‍යයනය කරන ලෙස ජවිපෙ නායකයා ඉල්ලා සිටියේය.

“නියමිත මැතිවරණ නොපැවැත්වීම නිසා ලේවලින් මිනී කඳු වලින් පිරිච්ච රටක් මේක,” යි ජවිපෙ නායකයා පාර්ලිමේන්තුවේ ඉතා උද්වේගකරව කියා සිටියේය.

ජවිපෙ ‘අතපසුවීම’

දෙමළ ජනතාවට බලය බෙදීම අරමුණු කොට ගෙන 1987 දී  පැවැත්වූ පළමු පළාත් සභා ඡන්දයට එරෙහිව සන්නද්ධ අරගලයක යෙදීමේදී “අතපසුවීමක්” සිදුවූ බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ආයාචනය කළේ ඒ ගැන තම පක්ෂය විවේචනය නොකරන ලෙසයි.

“88-89 ට ගහල දාන ලාබ දේශපාලනයට යන්න එපා,” යි අනුර දිසානායක ඉල්ලා සිටියේය.

“සිදු නොවිය යුතු දේ අපි අතින් සිදු වුනා. ඒ ගැන අවංක කනගාටුවක් හා වේදනාවක් තියෙනවා.”

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ජවිපෙ පසුතැවෙමින් නොසිටින බවද ඔහු අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මැති ඇමතිවරුන් “මීයන් සේ” බියේ සිටියදී තම පක්ෂය සටන් වැදුණු බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

Related posts

Comments are closed.

Top