විශේෂඥ වෛද්‍යවරු මානුස් කඳවුරට ඇතුල් වීමට අවසර ඉල්ලති

 

පැපුවා නිව් ගිනියාවේ වෙසෙන දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නන් වෙනුවෙන් නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කැමැත්ත පල කරමින් ඕස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඊට අවසර දෙන මෙන් ඉල්ලා එරට රජය වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

වසා දැමු මානුස් සරණාගත මධ්‍යස්ථානයෙන් ඉවත් කළ පුද්ගලයන්ගේ වත්මන් මානසික මෙන්ම කායික සෞඛ්‍ය පිළිබඳව තමන් “දැඩි ලෙස සැලකිලිමත් වන” බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් 18 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් 27 සඳුදා මෙම ලිපිය ‍යවා ඇත.

සිය ජිවිත ආරක්ෂාව පිළිබඳව ඇති බිය නිසා, ඔක්තෝබර් 31 වසා දැමුණු PNG මානුස් රැඳවුම් කඳවුරෙන් පිටව යාම ප්‍රතික්ෂේප කළ රැඳවියන් 300 දෙනකු පමණ 24 සිකුරාදා ලොරෙන්ගෝ හි පිහිටි නව වාසස්ථාන වෙත යොමු කර තිබුණි.

කෙසේ වෙතත් එක්සත් ජාතින් මෙම මාරුකර යැවීම හඳුන්වා දී තිබුනේ “බලහත්කාරයෙන් ඉවත් කිරීමක්” ලෙසය.

ඕස්ට්‍රේලියාවේ කීර්තිනාමයට හානියක්

මතුව ඇති සංක්‍රමණික ගැටලුව නිසා ඔස්ට්‍රේලියාවේ කිර්තිනාමයට ද හානියක් වී ඇතැයි වෛද්‍ය කණ්ඩායම පෙන්වා දී තිබේ.

“දේශපාලනික ගැටළුවලට වඩා මානුෂිය ගැටළුවලට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතු බවට අපි විශ්වාස කරන්නෙමු. මෙය සංක්‍රමණික සහ දේශසීමා පාලනයට එහා ගිය කාරණාවක්. නමුත් ඉන් මිනිසුන්ගේ සෞඛ්‍යට අහිතකර බලපෑමක් එල්ල වනවා සේම අපගේ රට ගැන අන් අයගේ හිතේ කැළලක් ඇති කරනවා,” යැයි ලිපියෙහි සඳහන් වේ.

දුර්වල සනීපාරක්ෂක  සහ සෞඛ්‍ය පහසුකම්, සීමිත විදුලිබලය, ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම යන මේ කරුණු රෝගී තත්වයන් තවත් උත්සන්න කිරීමට හේතු වනු ඇති බව ජ්‍යෙෂ්ඨ  වෛද්‍ය කණ්ඩායමේ අදහසයි.

විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මානුස් දිවයින වෙත යාමට ඉදිරිපත් වී ඇති බැවින් ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික අවසරයත්, ආධාර ලබා දීමට අනුමැතියත් ලබා දෙන මෙන් මැල්කම් ටර්න්බුල් රජයෙන් ඔවුහු ඉල්ලා සිටිති.

ගැටලුව සඳහා ඉක්මන් පියවරක් ගත යුතු බව ද වෛද්‍ය කණ්ඩායම වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

Related posts

Comments are closed.

Top