ෆයිසර් මුස්තාෆා ඇමැති ගැන සැක පිට සැක 

 

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  ෆයිසර් මුස්තාෆා  පළාත් පාලන ඡන්ද විමසීම කල්දමා ගැනීමට තවත් උත්සහයක් දරන බවට  තොරතුරු ලැබෙමින් පවතින බව දිවයිනේ ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් පවසයි.

කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැතිවරණ කොමිසම,  සහ මැතිවරණ නිරීක්ෂකයන් සියලු දෙනා රවටමින් ඔහු කටයුතු කරන්නේදැයි සැක  සිතෙන බවයි  සාධාරණ මැතිවරණයක් සදහා වු ජාතික ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසන්නේ.

දැනට නාම යෝජනා කැදවා ඇති පළාත් පාලන ආයතන 93  ද කල් දමා ගැනීමට හෙට තවත් නීති උගුලක් අටවන බවට සැකයක් මතුව තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය සදහන් කරයි.

සීමා නිර්ණය ක්‍රියාවලියේ තවත් දෝෂ ඇතැයි පවසමින් හෙට දින අභියාචනාධිකරණයට කරුණු දැක්වීමට තවත් පාර්ශවයක් සැලසුම් කොට ඇති බව ට ද සැකයක් පවතින බව 29 බදාදා දින නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සදහන් කරයි.

 “පොරොන්දු වූ පරිදි අද දින අමාත්‍ය ෆයිසර් පැමිණිලිකරුවන් නඩුව ඉල්ලා අස්කර ගත්තේ නැත.   අංකයක් ලබාගත් නමුත් අද දිනයේ ද පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි විසින් නිකුත් කළ යුතුව ඇති අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීමේ ගැසට් පත්‍ර‍ය ද තවමත් රජයේ මුද්‍ර‍ණාලයට ගොස් නැත.  වැරදි නම් ගැසූ පළාත් පාලන ආයතන 40 ක ඡන්දයට නාම යෝජනා කැදවීමට ඒ අනුව මැතිවරණ කොමිසමට තවම හැකියාව නැත.එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත ඇතුළු පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය අනෙකුත් සියළු නීතිමය ප්‍රතිපාදන සම්මත කර තිබියදී එකී මැතිවරණය නිසි කලට පැවැත්වීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් පළාත් පාලන විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ට එරෙහි ව ජනතා විමුක්ති පෙරමුණත් මහින්ද රාජපක්ෂවාදී මන්ත්‍රී කණ්ඩායමකුත් මේ වනවිට විශ්වාස භංග යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත.

Related posts

Comments are closed.

Top