හිතුමතේ සිරගත කිරීම් ගැන හොයන්නට එජා විශේෂඥයෝ එති

නඩු නැතිව දේශපාලන සිරකරුවන් දීර්ඝ කාලයක් සිරගත කර තැබීම සහ රහසිගත වධකාගාර  පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්වී සිටින ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ මණ්ඩලයක් ලබන මස මුලදී දිවයිනට පැමිණෙනු ඇත.

 

අත්තනෝමතික රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානී ආචාර්ය හොසේ අන්තෝනියෝ ගෙවාරා බර්මියුඩේස් ගේ නායකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මණ්ඩලය ශ්‍රී ලංකාව තුල නිදහස අහිමි කිරීමට අදාල විමර්ශන කටයුතු දෙසැම්බර් 4 සිට 15 දක්වා සිදු කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 

පොලිස් ස්ථාන, බන්ධනාගාර, බාලක රැඳවුම් මධ්‍යස්ථාන, සමාජමානසික දුබලතා සහිත පුද්ගලයන් සහ සංක්‍රමණිකයන් රඳවන ස්ථාන කරා ගොස් විශේෂඥ මණ්ඩලය විසින් තොරතුරු එක්රැස් කරගනු ඇතැයි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ජිනීවා නුවර සිට නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

කොළඹට අමතරව බස්නාහිර, උතුරු මැද, උතුර, නැගෙනහිර, දකුණ සහ මධ්‍යම පලාතටත් ගොස් රජයේ නිලධාරීන් මෙන්ම සිවිල් සමාජ කණ්ඩායම් ඇතුළු අදාළ පාර්ශව මුණගැසෙන කණ්ඩායමට ලී ටූමි සහ එලීනා ස්ටයිනර්ට් ඇතුලත් වෙති.

 

ක්‍රියාකාරී කමිටුව රැස් කරගන්නා තොරතුරු 2018 සැප්තැම්බරයේ මුළුදෙන ජගත් මානව හිමිකම් කමිටුවට ලබාදීමට නියමිත බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයකු ගගන හා පැවසීය.

Related posts

Comments are closed.

Top