පැසිස්ට් ප්‍රහාර වලින් සමලිංගික අයිතිය යට කරන්න බෑ: බාහු

 

සමලිංගික ප්‍රජාවගේ අයිතිය පිළිබද ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් හා මානව හිමිකම් අයිතියක් ලෙස ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඉදිරියට පැමිණ තිබෙන බව ප්‍රමුඛ පෙළේ වාමාංශික නායකයකු පවසයි.

එම ප්‍රජාවට එරෙහිව කිසිදු ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක නොකරන ලෙස පොලීසි වලටද දැනුම් දී ඇති බවයි නව සම සමාජ නායකයා පවසන්නේ.

“සෑම මිනිසකුගේම ලිංගික අවශ්‍යතාවයන් පවතින සදාචාරය සහ පවතින නීති රාමුව තුළ විසඳාගත යුතුයි“ යන අදහස ලෝකය පිළිගෙන තිබෙන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පෙන්වා දෙයි.

රට තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඔවුන්ගේ අයිතීන් එම ආණ්ඩු ක්‍රමයට ඇතුලත් වනු ඇතැයි එම ප්‍රජාව බලාපොරොත්තුවෙන් සිටින අතර එය ඉතා වැදගත් අපේක්ෂාවක් බව ආචාර්ය වරයා පැවසුයේ කොළඹ දී ගගන වෙත අදහස් දක්වමිනි.

සමලිංගික ප්‍රජාවගේ අයිතින් සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ඇති කළ යුතු බවත් මිනිසුන්ට සමාජ අයිතිය, ජීවත් වීමේ අයිතිය, කලාවට, සාහිත්‍යයට, රසිකත්වයට ඇති අයිතිය මෙන්ම සම ලිංගික අයිතියත් ඔවුන්ට හිමි අයිතියක් ලෙස තහවුරු කළ යුතු බව වික්‍රමබාහු කරුණාරත්න අවධාරණය කරයි.

දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාව තුළ සමලිංගික ප්‍රජාවගේ අයිතිය තහවුරු කර තිබෙන බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

සමලිංගික ප්‍රජාවගේ අයිතින් පිළිබද ශ්‍රී ලංකාව තුල මතුවන විරෝධතා පිලිබඳ සාකච්ඡාවක් පවත්වා නැති අතර නොදන්නා මිනිසුන් සහ ෆැසිස්ට් තාලයේ මිනිසුන් අනියම් ලෙස එයට පහර ගසමින් නොයෙකුත් හිරිහැර කරන බව ආචාර්ය වික්‍රමබාහුගේ අදහසයි.

එවැනි  හිංසාකාරී කටයුතු දැඩි ලෙස හෙලා දකින අතර එවැනි කටයුතු වලින් සමලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන නතර කළ නොහැකි බව නසසප නායකයා වැඩි දුරටත් අවධාරණය කරයි.

 

Related posts

Comments are closed.

Top