මානුස් දිවයිනේ හැටකට එක්සත් ජනපදයට යාමේ සාකච්ඡා

 

ඇමරිකා එක්සත් ජනපදය තුල නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් වැඩිදුර සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සඳහා පැපුවා නිව් ගිනියා මානුස් දිවයිනේ රඳවා සිටින සංක්‍රමණිකයන් සිය ගණන අතරින් 60 දෙනකු පමණක් එළැඹෙන සතියේදී පෝර්ට් මෝස්බි අගනුවර වෙත යොමු කිරීමට නියමිත බව සරණාගතයෝ පවසති.

PNG ආගමන සහ පුරවැසි සේවා අධිකාරිය විසින් ලොරෙන්ගෝ නුවර පිහිටි නව වාසස්ථාන වල ප්‍රදර්ශනය කරනු ලැබූ දැන්වීමක සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද නැවත පදිංචි කිරීමේ උපකාර මධ්‍යස්ථාන නියෝජිතයන් දෙසැම්බර් 14 පෝර්ට් මෝස්බි වෙත පැමිණෙන බැවින් සමහර සරණාගතයන් අනිවාර්යයෙන් අගනුවර වෙත පිටත්විය යුතු බවයි.

එසේම වැඩිදුර පදිංචි කිරීම් එළැඹෙන මාස වලදී සිදු කිරීමට නියමිත බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ද බලධාරීන් ඉල්ලා ඇත.

 

නව වාසස්ථාන වල ප්‍රදර්ශනය කරනු ලැබූ දැන්වීම

 

ඔස්ට්‍රේලියාව වෙත අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සාහ දැරූ පුද්ගලයන් රඳවා සිටි මානුස් රැඳවුම් කඳවුර ඔක්තෝබර් 31 වසා දැමීමෙන් අනතුරුව ඉන් පිටවීම ප්‍රතික්ෂේප කළ සරණාගතයන් එම දිවයිනේම පිහිටි ලොරෙන්ගෝ හි නව වාසස්ථාන වෙත බලහත්කාරයෙන් යොමු කර තිබුනි.

මෙම නව මධ්‍යස්ථානවල අවශ්‍ය ප්‍රමාණයට ජලය නොමැති බවත් නිරතුරුවම විදුලිය කප්පාදු කරන බවත් ඉරාන ජාතික මාධ්‍යවේදී බේරුස් බුචානි පවසයි.

“මානුස් හි නව රැඳවුම් කඳවුර තවමත් සුදානම් නැහැ. ජල හිඟය නිසා බොන්න, කන්න නැතිව මිනිස්සු පිඩා විඳිනවා,” යනුවෙන් ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත.

 

 

ට්‍රම්ප්ගේ සංචාරක තහනම සහ සරණාගතයන්

කෙසේ වෙතත් ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෑතකදී බලාත්මක කරනු ලැබූ සංචාරක තහනමට අයත් රටවල සරණාගතයන් මෙම නම් කිරීම් අතරට ඇතුලත් නොවන බව ද ගාඩියන් පුවත්පත පවසයි.

“ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවරුන්ගේ බහුතර ඡන්දයෙන් මෙම සතිය මුලදී අනුමත කරනු ලැබූ ජනපති ට්‍රම්ප්ගේ ‘සංචාරක තහනම’ ට අයත් ඉරානය සහ සෝමාලියාව වැනි රටවලින් කිසිවකුත් එක් කර නැහැ.”

තෝරාගත් 60 දෙනා අතරට ප්‍රධාන වශයෙන් ඇතුලත් වන්නේ ඇෆ්ගනිස්ථාන, පකිස්ථාන සහ රෝහින්ග්‍යා වැසියන් බව ඔවුන් පෙන්වා දී තිබේ.

ඡායා: බේරුස් බුචානි

Related posts

Comments are closed.

Top