මානව හිමිකම් දිනය: උතුරේ විරෝධතා, කොළඹ කලා උළෙලක්

දෙසැම්බර් 10 ඉරිදාට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී උතුරේ ඥාතීන් විරෝධතාවක් සැලසුම් කරද්දී රාජ්‍ය ආයතන දෙකක් කොළඹ කලා උළෙලක් සංවිධානය කර ඇත.

අතුරුදහන් තම ඥාතීන් සොයා දෙන ලෙස බලකරමින් දියත් කර ඇති සත්‍යග්‍රහ 300 වැනි දිනයට ලඟා වෙද්දී  මානව හිමිකම් දිනයේ තම විරෝධතාව පවත්වන්නේ ආගිය අතක් නොමැති සිය ආදරණීයයන් සොයා දීමට පොරොන්දුවී බලයට පත් දේශපාලකයන්ට එරෙහිව බව මව්වරු පවසති.

“අතුරුදහන් වූවන් සොයා දෙනවා කියා දේශපාලන වාසියට තමන්ගේ ඡන්ද ප්‍රකාශන වල දාපු අය අපිට කිසිම සහනයක් ලබා දුන්නේ නෑ,”  යි ලීලාදේවී ආනන්දරාජා මාතාව කිලිනොච්චියේ සත්‍යග්‍රහ භූමියේ දී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දැඩි කලකිරීමෙන් යුතුවය.

ඊට විරෝධය පාමින් මානව හිමිකම් දිනයේ දැවැන්ත විරෝධයක් පැවැත්වීමට අමතරව ඉදිරි පළාත් පාලන  මැතිවරණයේදී ඡන්දය වර්ජනය කිරීමටත් තීරණය කළ බව මෑණිවරු කිහිප දෙනකුම ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික කලා මණ්ඩලය හවුලේ සතියක් පුරා කොළඹ පැවැත්වීමට සැලසුම් කර ඇති කලා උළෙල ආරම්භ වන්නේ ද දෙසැම්බර් 10 දාය.

ජේඩීඒ පෙරේරා කලාගාරයේ නොමිළේ ප්‍රදර්ශනය කෙරෙන දිවයිනේ පළමුවැනි මානව හිමිකම් කලා උළෙල ලෙස හැඳින්වෙන මෙහි, දෘශ්‍ය කලා, සංගීතය, වේදිකා රංගන සහ නැටුම්  ඇතුලත් වන බව ශ්‍රී ලංකා කලා මණ්ඩල සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පවසයි.

Related posts

Comments are closed.

Top