මාසයක් ඇතුලත රෝහින්ග්‍යාවරුන් “6700ක් මරා දාලා” | VIDEO

 

මියන්මාර රජය සහ කැරලි කරුවන් අතර ගැටුම් හට ගැනීමෙන් පසු මසක කාලයක් තුලදී රෝහින්ග්‍යා වැසියන් අවම වශයෙන් 6700 දෙනකු ඝාතනය කර ඇතැයි සෞඛ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් හෙළිදරව්  කර තිබේ.

මෙඩ්සොන්ස් සොන්ස් ෆ්‍රොන්තියේ (MSF) රාජ්‍ය නොවන ආයතනය විසින් බංග්ලාදේශයේ වෙසෙන රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ සිදු කළ සමීක්ෂණයකට අනුව දක්වා ඇති මෙම ප්‍රතිපලය බුරුම බලධාරීන් මිට ඉහතදී ලබා දුන් 400 ට ආසන්න නිළ සංඛ්‍යාලේඛනයට වඩා විශාල අගයක් ගනී.

බුරුම රජය වගකිව යුතු “පුළුල්ව පැතිරුණු සාහසිකත්වයට මෙතෙක් ලැබුණු පැහැදිලිම නිදසුන” මෙය බව MSF සංවිධානය ප්‍රකාශ කරයි.

එසේම පසුගිය අගෝස්තු මස සිට රෝහින්ග්‍යා වැසියන් හය ලක්ෂ හතලිස් හත් දහසකට වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා විත් ඇතැයි ඔවුන් පවසයි.

මෙඩ්සොන්ස් සොන්ස් ෆ්‍රොන්තියේ විසින් සිදු කළ සමීක්ෂණයට අනුව අගෝස්තු 25 සිට සැප්තැම්බර් 24 කාලය තුලදී රෝහින්ග්‍යාවරු අවම වශයෙන් 9000 ක් මියන්මාරයේදී මියගොස් ඇත.

“වඩාත් මධ්‍යස්ථ තක්සේරුවලට අනුව” වයස අවුරුදු 5 ට අඩු ළමුන් 730 ක් ඇතුළුව අවම වශයෙන් 6700 ක් ප්‍රචණ්ඩත්වය නිසා ජිවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 59% වැඩි පිරිසක් වෙඩි තැබීමෙන් ද, 15%ක් පුළුස්සා දැමීමෙන් ද, 7% ක් පහරදීමෙන් ද, 2% ක් බිම් බෝම්බ නිසා ද ජිවිතක්ෂයට පත්ව ඇතැයි සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත.

අගෝස්තු ප්‍රහාරයෙන් පසුව “ත්‍රස්තවාදීන්” 376 දෙනකු ඝාතනය කළ බව බුරුම හමුදා මින් පෙර සඳහන් කර තිබුණි.

අයුක්ති සහගත වාර්තාවක්

බුරුම පොලිස් මුරපොළවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් කැරලිකරුවන් විසින් අගෝස්තු 25 එල්ල කළ ප්‍රහාර වලින් අනතුරුව හමුදාව අලුතින් දියත් කළ දරුණු මෙහෙයුම් නිසා “අහිංසක ජනතාව ඝාතනය නොවූ” බව සඳහන් වාර්තාවක් එරට හමුදාව විසින් නිකුත් කරන ලද්දේ නොවැම්බර් මුලදීය.

 

ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා කැරලිකරුවන් සම්පුර්ණයෙන්ම වගකිව යුතු බවත් තමන් අතේ වැරද්දක් නැති බවත් එම වාර්තාව මඟින් ඔවුන් පෙන්වා දී තිබුණි.

එසේම ඝාතන, ගම්බිම් අළු කර දැමීම්, කාන්තාවන් සහ ගැහැණු ළමුන් දුෂණයට ලක් කිරීම් සහ දේපල කොල්ලකෑම් ආදිය එරට හමුදා සිදු නොකළ බව ද එහි සඳහන් ව තිබේ.

නමුත් එය “අයුක්ති සහගත” වාර්තාවක් බව පවසමින් මානව හිමිකම් සංවිධාන ඇතුළු ජාත්‍යන්තරයේ දෝෂ දර්ශනයට ලක් විය.

Related posts

Comments are closed.

Top