ශ්‍රී ලංකාවේ වද දෙන නිසා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් නොකරන ලෙස එක්සත් ජාතීන් කියයි

දේශපාලන රැකවල් නොදී පිටුවහල් කිරීමට නියමිත එල්ටීටීඊ චෝදනා ලබන දෙමළ පුද්ගලයකු වධබන්ධනයට ගොදුරු වීමේ අවදානමක් ඇති හෙයින් ආපසු ශ්‍රී ලංකාවට නොයවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඕස්ට්‍රේලියා රජයට නිර්දේශ කර තිබේ.

වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UNCAT) ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවට එම නිර්දේශය දී ඇත්තේ  දේශපාලන රැකවරණ ප්‍රතික්ෂේප කරනු ලැබූ නම් නොකළ දෙමළ පුද්ගලයා පිටුවහල් කරනු ලබන බව ආගමන විගමන බලධාරීන් විසින් මේ මස මුලදී දැනුම් දීමෙන් පසු මානව හිමිකම් නීතිවේදිනියක් විසින් කරන ලද පැමිණිල්ලක් විමසා බැලීමෙන් අනතුරුවයි.

ඔහු එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකාවේ දී අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති හෙයින් රජය විසින් සිරකොට තබාගෙන වධහිංසා පමුණුවනු ඇති බව “සැමට මානව හිමිකම්” (Human Rights for All) නීතිඥ ආයතනය UNCAT කමිටුවට කළ පැමිණිල්ලකින්  අනතුරු අඟවා තිබුනි.

පිටුවහල් කිරීමේ තීන්දුව ලබා සිටින දෙමළ පුද්ගලයා සන්නද්ධ අරගලයේ නියැලී සිටි බවට චෝදනා නැතත්, “ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදී සංවිධානයකට උදව් දීම” සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වී ඇතැයි වරෙන්තුවේ සඳහන් වන බව ඕස්ට්‍රේලියා ජනමාධ්‍ය වාර්තා කර ඇත.

“එල්ටීටීඊ සංවිධානයට උදව් කළ බවට චෝදනා ලබන පුද්ගලයකු ලෙසින් ඔහු ලිංගික දූෂණය ඇතුළු වධබන්ධන මාලාවකට ගොදුරු වීමේ ඉඩක් පවතී,” යනුවෙන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වන “සැමට මානව හිමිකම්” අධ්‍යක්ෂිකා ඇලිසන් මේරි බැටිසන් එක්සත් ජාතීන්ගේ කමිටුවට පවසා තිබේ.

පැමිණිල්ල විභාග කරන තුරු අදාල පුද්ගලයා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඕස්ට්‍රේලියා ආණ්ඩුවට නිර්දේශ කරන ලද බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ගිවිසුම් අංශයේ ප්‍රධානී ඉබ්‍රාහිම් සලාමා දෙසැම්බර් 11දා නීතිඥවරියට දැනුම් දී තිබේ.

දේශපාලන රැකවරණ පතා එන්නන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කටයුතු කරන ආකාරය මානව වර්ගයාට එරෙහි අපරාධ ගණයට වැටෙන්නේදැයි විභාග කරන ලෙස 2016 දී ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලා සිටි ඕස්ට්‍රේලියා, බ්‍රිතාන්‍ය හා ඇමරිකා එක්සත් ජනපද නීතිඥ කණ්ඩායමක් අතර ඇලිසන් මේරි බැටිසන් ද සිටින්නීය.

ශ්‍රී ලංකාව ආරක්‍ෂිත නෑ

බොහෝ දෙමළ අයට ශ්‍රී ලංකාව ආරක්ෂාකාරී නොවෙතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් පියවරින් පෙනී යන බව නීතිඥවරිය පවසන්නීය.

“වධහිංසාවට එරෙහි කමිටුවේ අතුරු පියවර නැවතත් පෙන්නුම් කරන්නේ ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතා සිටින දෙමළ පුද්ගලයන් මුහුණ දී සිටින තත්වයේ බැරෑරුම් කමයි.” ඇලිසන් බැටිසන් කියා සිටී.

“මේ පියවර ගැනීමෙන් එක්සත් ජාතීන් විසින් පිළිගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාව බොහෝ දෙමළ පුද්ගලයන්ට සරණාගත භාවය නොදී සිටියදී, ශ්‍රී ලංකාව දෙමළ අයට ආරක්‍ෂිත තැනක් නොවන බවයි.”

එල්ටීටීඊ ය සමග මොනයම්ම හෝ සම්බන්ධයක් ඇතැයි සැක කෙරෙන පුද්ගලයන්ට මේ වසරේත් සිරකොටගෙන වධහිංසා පමුණුවන ලද බවව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් කර තිබු හෙළිදරව් ජුලියේ දී ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු විසින් තහවුරු කර තිබුනි.

“ජාතික ආරක්ෂාවේ නාමයෙන් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගන්නවුන් ට එරෙහිව වධහිංසා කිරීම එදා මෙන්ම අදත්, ආවේනික සහ දෛනික චර්යාවක් ලෙසින් පවතින බව නිගමනය කිරීමට අවශ්‍ය සියලුම සාක්ෂි තිබේ,” යි විශේෂ වාර්තාකාර බෙන් එමර්සන් පවසා සිටියේය.

ලෝකයේ වධහිංසා පමුණුවන රටවල් අතරින් ශ්‍රී ලංකාව මේ වසරේත් පළමු තැනට පැමිණ සිටින බව වධහිංසාවෙන් නිදහස (Freedom from Torture – FFT)  මානව හිමිකම් සංවිධානය අගෝස්තුවේ වාර්තා කර තිබුනි.

ආණ්ඩුවේ පරස්පර ප්‍රතිචාර 

පොලිසිය හා හමුදාව විසින් මේ අවුරුද්දේ සිදුකළ බවට චෝදනා නැගෙන ලිංගික දූෂණ ඇතුළු වධබන්ධන පිළිබඳව ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) රැස්කළ තොරතුරු ඇසුරින් ගවේෂණාත්මක වාර්තාවක් පසුගිය මාසයේ පල කළ ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවාවට හමුදාපති මහේෂ් සේනානායක පවසා තිබුනේ යුද හමුදාව “දැන් වධහිංසා නොකරන” බවයි.

කෙසේවෙතත්, එම වාර්තාවටම ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබුනේ පහරදීම සහ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිසියේ 34 දෙනකුට එරෙහිව පියවර ගෙන ඇති බවයි.

“දැනට, පොලිස් නිලධාරීන් 100 දෙනකු සම්බන්ධ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිතව ඇත. 2017 වසරේදී, මේ දක්වා පහරදීම සහ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පැමිණිලි 28 ක් ලැබී ඇත,” යි විදේශ කටයුතු ලේකම් ප්‍රසාද් කාරියවසම් නොවැම්බර් මැද තරම් මෑත කාලයකදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලියා යවා තිබුනි.

වධහිංසාවට එරෙහි සම්මුතියේ වෛකල්පික සන්ධානය (Optional Protocol to the Convention against Torture) ට හවුල්වීමට ශ්‍රී ලංකාව පසුගිය සතියේ එකඟතාවය පල කළේය.

 

Related posts

Comments are closed.

Top