දිගටම රෝහින්ග්‍ය වරුන්ට පහර දෙන මියන්මාරයට විරුද්ධව සම්බාධක ඉල්ලයි

 

සරණාගතයන් නැවත පදිංචි කිරීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ද මියන්මාර රජය දිගින් දිගටම රෝහින්ග්‍යා ගම්බිම් විනාශ කරමින් සිටිතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් චෝදනා එල්ල කරයි.

හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය විසින් 18 සඳුදා නිකුත් චන්ද්‍රිකා ඡායාරූප අනුව පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාස අතරතුරදී උතුරු රඛයින් ප්‍රාන්ත රෝහින්ග්‍යා ගම්මාන 40 ක් වනසා ඇති ආකාරය හෙළිදරව් වේ.

ඒ අනුව අගෝස්තු 25 වැනි දින සිට සම්පුර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් විනාශ වී ඇති සමස්ත ගම්බිම් සංඛ්‍යාව 354 ක් බව ඔවුන් පෙන්වා දෙයි.

බුරුම රජය සහ කැරලිකරුවන් අතර හටගත් ගැටුම් වලින් අනතුරුව දියත් කෙරුනු හමුදා මර්දනය නිසා පසුගිය අගෝස්තු 25 සිට හය ලක්ෂ විසි තුන් දහසක පිරිසක් බංග්ලාදේශයට ඇතුල් වී ඇතැයි දෙසැම්බර් මුලදී එක්සත් ජාතින් විසින් නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් වේ.

එසේ පැමිණි පිරිසෙන් 58% ක් ළමුන් සහ 60% ක් කාන්තාවන් වේ.

අවබෝධතා ගිවිසුම මුලාවක්

බංග්ලාදේශය වෙත පලා ගිය සරණාගතයන් මාස දෙකක් වැනි කාලයක් ඇතුලත නැවත ගෙන්වා ගැනීම සඳහා බුරුම රජය සහ බංග්ලාදේශය එක්ව අවබෝධතා ගිවිසුම අත්සන් කළ සතියේදී රඛයින් ප්‍රාන්තයේ ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් අළු බවට පත්ව ඇතැයි චන්ද්‍රිකා ඡායාරුප මඟින් තහවුරු වී ඇත.

ගිවිසුම අත්සන් කළ නොවැම්බර් 23 වැනිදායින් දින දෙකකට පසු එම ප්‍රාන්තයේ මවුන්ග්දෝ නුවර ම්යෝ මි චෑන්ග් ගම්මානයේ හටගත් ගින්නක් සහ ගොඩනැගිලි විනාශ වීමක් චන්ද්‍රිකා දත්ත වලට හසුව ඇති බව හියුමන් රයිට්ස් වොච් පවසයි.

සරණාගතයන් නැවත පදිංචි කිරීම පිළිබඳව බංග්ලාදේශය සමඟ අවබෝධතාවයකට පැමිණ දින කිහිපයකින් පසු නැවතත් බුරුම හමුදා රෝහින්ග්‍යා ගම්බිම් ගිනිබත් කරනවා කියන දෙයින් පෙන්නුම් කරන්නේ ආරක්ෂාකාරීව නැවත පිවිසීම හුදෙක් මුලාවක් බවයි,” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධාන ආසියා අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් ප්‍රකාශ කරයි.

රෝහින්ග්‍යාවරුන්ට දිගින් දිගටම එල්ල වූ ප්‍රහාර පිළිබඳව සාක්ෂි කරලියට පැමිණ ඇති විට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය  සහ වගකිව යුතු ආණ්ඩු තවදුරටත් නිහඬව නොසිටිය යුතුයි. මනුෂ්‍ය ප්‍රජාවට එරෙහිව අපරාධ සිදුකළ සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු පාර්ශවයන්ට විරුද්ධව අදාල සම්බාධක පැනවිය යුතුයි.

Related posts

Comments are closed.

Top