චීන දැල්ලා ගණන් උස්සා ධීවර අමාත්‍යාංශය වේක්කයා දෙස බලයි

බහු දින ධීවර යාත්‍රාවලින් මසුන් බිලි බෑමට භාවිතා කරන (ලෝන්ලයින්) යොත්  පන්න ක්‍රමය සඳහා ඇමට  යොදා ගන්නා චීනයෙන් ආනයනික දැල්ලන්ගේ මිල ගණන් ඉහළ යාම තමන්ට බරපතල ගැටලුවක් බව ධීවර ප්‍රජාව බලධාරීන් වෙත පෙන්වා දී තිබේ.

එයට විකල්පයක් වශයෙන් වේක්කයා (Milk Fish) නැමැති මත්ස්‍ය විශේෂය බෝ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇති බව රජය පවසයි.

මේ වනවිට චීනයෙන්  ආනයනික එම දැල්ලන්ගේ මිල කිලෝග්‍රෑම් එකක් ඩොලර් 03-05 දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

මේ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර ප්‍රජාව සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර  ඒ අනුව වේක්කයා නැමැති මත්ස්‍ය විශේෂය මත්ස්‍ය ඇම වශයෙන් යොදාගැනීමට පහසු බව ධීවර ප්‍රජාව පෙන්වා දී තිබේ.

ඒ යටතේ  වේක්කයන් වගා කිරීමේ මධ්‍යස්ථානයක් බංගදෙනිය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය (NAQDA)  විසින් ඒ සඳහා පළමු අදියර යටතේ වැය කෙරෙන මුදල රුපියල් මිලියන 100ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වගා මධ්‍යස්ථානයේ ඉඩම්, වේක්කයන් බෝ කරගැනීම සඳහා ඉදිරිපත්වන ධීවරයන්හට ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා  ලබා දීමට කටයුතු යොදන බව පවසා ඇති අමාත්‍යවරයා මත්ස්‍ය වගාවට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මෙන්ම තාක්ෂණික සහයෝගය හා නිෂ්පාදන අලෙවි පහසුකම් ද සැලසීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් කටයුතු යොදන බවත් සදහන් කර තිබේ.

Related posts

Comments are closed.

Top