ජාතිවාදීන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩදෙන යහපාලනය ගැන කලකිරීමක්: බාහු | VIDEO

රටට යහපාලනයක් උදා කරන බව ප්‍රකාශයට පත් කරමින් බලයට පත් මෛත්‍රී-රනිල් නායක දෙපලම පොරොන්දු ඉටු නොකිරීම නිසා විවේචනයට ලක්වී සිටින බව පෙන්වා දෙන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ජනතාවට සාධාරණය ඉෂ්ට කර දීම සඳහා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බව පවසයි.

ඡන්දය දුන් ජනතාව කලකිරීමට පත්වී යහපාලනය අර්බුදයකට ගොස් සිටින බව ආචාර්ය බාහු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ කොඩි දෙක ලකුණින් කොළඹ මහනගර සභාවට තරග වැදීමට නාම යෝජනා භාර දීමෙන් අනතුරුවය.

“ඇයි මේ දරුණු අපරාධකාරයෝ ඉන්නවා අත් අඩංගුවට ගන්නේ නැද්ද? උන් හිරේ දාන්නේ නැද්ද? ජාතිවාදය ආගම්වාදය වපුරලා විනාශ කරපු මිනිස්සු තාම නිදැල්ලේ හැසිරෙනවා,” යි කී වික්‍රමබාහු කරුණාරත්න කොළඹ නගරය තුල සටන් කිරීම සඳහා දෙමළ, සිංහල මුස්ලිම් සමතුලිත නියෝජනයකින් යුතුව තරග වදින බව කියා සිටියේය.

තමන් නායකත්වය සපයන නව සමසමාජ පක්ෂය කළුතර නගර සභාවට සහ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවට කුඩය ලකුණින් තරග වදින බවද ඔහු ප්‍රකාශ කළේය.

සිරිතුංග කොලොන්නාවට

මේ අතර එක්සත් සමාජවාදී පෙරමුණේ නායක සිරිතුංග ජයසූරිය කොලොන්නාව නගර සභාවට තරග වැදීම සඳහා නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ  දූෂිත පාලනයට එරෙහි ජනතා නියෝජිතයන් පත් කරගැනීම වෙනුවෙන් තරග කරන බවයි.

ප්‍රධාන පක්ෂවලින් තේරී පත්වන නියෝජිතයන් “ගමත් එපා, රටත් එපා” කියමින් දූෂණයේ යෙදෙන බවට ඔහුගේ දෝෂ දර්ශනයට ලක්විය.

චාවාකච්චේරි හා හොරණ නගර සභාවටත්, මතුගම ප්‍රාදේශීය සභාවටත් තම පක්ෂය ත්‍රිරෝද රථ ලකුණින් තරග වදින බව සිරිතුංග ජයසූරිය වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top