සෙයිඩ් කුමාරයා මානව හිමිකම් මහ පුටුවෙන් බසින්නට තීරණය කරයි

 

එක්සත් ජනපද ජනපති ට්‍රම්ප්ගේ බලාධිකාරය ඇතුළු බලවත් රාජ්‍ය පවා ඉතාමත් දරුණු ලෙස විවේචනයට ලක් කළ ජගත් මානව හිමිකම් ප්‍රධානියා එළැඹෙන වසරේදී එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

පවතින භූ-දේශපාලනික සන්දර්භය තුල තවත් සිව් වසරකින් සිය ධූර කාලය දීර්ඝ නොකිරීමට තීරණය කළේ යැයි ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යමණ්ඩලය වෙත විද්‍යුත් පණිවිඩයක් නිකුත් කරමින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් මේ බව දැනුම් දී ඇත.

2014 සැප්තැම්බරයේ ආරම්භ කෙරුණු ඔහුගේ සිව් වසරක ධූර කාලය ලබන වසරේ සැප්තැම්බරයේදී නිමා වීමට නියමිතය.

“මම තීරණය කළා දෙවැනි සිව් වසරක ධූර කාලය බාර නොගැනීමට. පවතින භූ-දේශපාලනික සන්දර්භය තුල මා එසේ කළොත් බැගෑපත් දන නැමීමක්, යුක්තිය ඉල්ලන හඬ නිහඬ කිරීමක්, ඔබේ හඬ වන මගේ හඬේ ස්වාධීනත්වය සහ අවංකකම අඩු කිරීමක්,” යැයි ඔහු පවසා ඇත.

ඔහු රුසියානු පිටුබලය ලත් සිරියා රජයේ ක්‍රියා කලාපය, මියන්මාරයේ සිදු වූ වර්ග සංහාරය පිළිබඳව නොවලහා කරුණු ගෙන හැර දැක්වුවා සේම බහුතර මුස්ලිම් රටවලට එරෙහිව සංචාරක තහනම් පැනවූ ට්‍රම්ප් පාලනය පිළිබඳව ද කිහිපවතාවකදීම විවේචනය කර තිබුණි.

මානව හිමිකම් සුරැකීමටත්, අතීත උල්ලංඝන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදී  තිරසාර සංහිඳියාවක් ඇති කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජගත් ප්‍රජාව සහ රටේ පුරවැසියන් හමුවේ දී ඇති පොරොන්දු ඉටු කිරීමේ පමාව සෙයිඩ් කුමාරයාගේ දෝෂ දර්ශනයට ලක්වූ අවස්ථා එමටය.

“අපට තව මාස ගණනාවක්ම තියෙනවා. අරගලයේ මාස, සමහරවිට, ඊට වඩා ඛේදජනක, මොකද ගෙවුණු වසර කිහිපයත් අපි ගොඩ දෙනකුට දුෂ්කර එකක් වුණා, අපේ සේවය ලබන මිනිසුන් බොහොමයකට එය ඉතා භයානක වුණා.” යැයි ඔහු සිය කාර්ය මණ්ඩලයට යැවූ පණිවිඩයේ සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගෙන් බහුතරයක් තමන්ට බලතල ලබා දී ඇති තාක් කල් එම සේවයේ යෙදෙති.

කෙසේ වෙතත් අල් හුසේන් කුමරුගේ ඉවත් වීම පිලිබඳ පුවත ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරෙස්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් දුජරික් විසින් තහවුරු කර තිබේ.

“තවත් ධූර කාලයක් දැරීමට කැමැත්තක් නැති බව මහ කොමසාරිස්වරයා මහ ලේකම් වෙත වෙත පසුගිය සතියේදී දන්වා තිබුනා.”

වර්ගවාදයට එරෙහිව දැඩි ලෙස පෙනී සිටින්නෙක් ලෙස ප්‍රකට සෙයිඩ් අල් හුසේන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ලෙස මැද පෙරදිගින් පත් වූ පළමු වැන්නා වෙයි.

 

 

Related posts

Comments are closed.

Top