උසාවි අවසරය සමගින් නාගවිහාර නාහිමි ආදාහනය යාපනයේ | VIDEO

 

පොලිස් ප්‍රහාරයකින් මරාදැමුනු දෙමළ පිරිසක් වෙනුවෙන් ඉදිකරන ලද ස්මාරකයක් අබියස බෞද්ධ ආදාහනෝත්සවයක් පැවැත්වීම වලක්වා ලන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සමක් ඉවත ලූ අධිකරණයේ අවසරය ඇතිව උතුරු පළාත් ප්‍රධාන සංඝනායක නාහිමියන්ගේ  අවසන් කටයුතු යාපනයේදී සිදුකර තිබේ.

අපවත් වු යාපනය නාග විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ ඥානරතන නාහිමියන්ගේ  දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය යාපනය මහජන ක්‍රිඩාංගණයේදී පැවැත්වීම සම්බන්ධයෙන් යාපනයේ සංස්කෘතික සංගමය විරෝධතාවය පල කර තිබුනි.

හතලිස් තුන් වසරකට ඉහතදී යාපනයේ පැවැති  සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ පොලිස් ප්‍රහාරයකින් ජීවිත අහිමිවූ නම දෙනකු සිහිකරමින් ස්මාරක පිහිටුවා තිබෙන ස්ථානයක් සහ මුනියප්පර් හින්දු කෝවිල ක්‍රීඩාංගනය  ආසන්නයේ පිහිටා තිබීමත් එයට හේතුව ලෙස ඔවුන් විසින් දක්වන ලදී.

ඒ හේතුවෙන් දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය යාපනය මහජන ක්‍රිඩාංගණයේදී පැවැත්වීම නතර කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් යාපනය මහනගර සභාවට හා  උතුරු පළාත් මහ ඇමැතිවරයාට දෙමළ ජාතික සංස්කෘතික සංගමය විසින් ලියුමක් යැවීමට කටයුතු කර ඇත.

දෙමළ ස්මාරක සහ ආගමික ස්ථාන පිහිටි ස්ථානයක බෞද්ධ ආදාහන පූජෝත්සවය පැවැත්වීම දෙමළ ජනතාවගේ හැගීම් වලට සිදු කරන අගෞරවයක් වන හෙයින්  එවැනි ස්ථානයක ආදාහන පූජෝත්සවයක් පැවැත්වීම කිසිසේත් නුසුදුසු බවද එම ලිපිය මගින් පෙන්වා දී ඇති බව ගගන යාපනය වාර්තාකරු පවසයි.

යාපනය කොටුවේ පිහිටි මුනිෂ්වර් කෝවිල ආසන්නයේම මීගහජඳුරේ ඥානරතන නාහිමියන්ගේ  දේහය තැම්පත් කිරීම මගින් හින්දු ජනතාවගේ හදවත මහ කම්පනයට පත් කරවන්නක් බවද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

කෙසේවෙතත්,  ආදාහනයෙන් පසු ඒ ආසන්නයේම එම හිමියන් වෙනුවෙන් ස්මාරකයක් පිහිටුවීමේ මුලික සැලැස්මක් ලෙස එම ස්ථානයේ ආදාහන සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන්ද ඔවුන් සැක පළ කරති.

 

 

යාපනය හිටපු නාග විහාරධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ ඥානරතන නාහිමියන්ගේ  දේහයට ගෞරව කිසිම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බව ලිපියේ අවධාරණය කර ඇත.

පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇත්තේ භූමිය හිමි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදාහනොත්සවයට අවසර ලබා දී ඇති බවයි.

වාර්ගික වශයෙන් සංවේදී ස්ථානයක ආදාහනෝත්සවය පැවැත්වීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කරන ලද පෙත්සම ප්‍රතික්ෂේප කළ යාපනය මහෙස්ත්‍රාත් එස් සදීශ්කරන් විසින් ආදාහන පූජෝත්සවය  යාපනය මහජන ක්‍රිඩාංගණයේ පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව හමුදා පොලිස් සහභාගිත්වයෙන් සන්නද්ධ ආරක්ෂාව මැද දේහය  පෙරහරින් ගෙනගොස් ආදාහනොත්සවය පවත්වන ලදී.

යාපනය නාග විහාරය බෞද්ධයන්ට වන්දනාමාන කිරිම සදහා සුදුසු ස්ථානයක් බවට පත් කිරිම ඇතුළු කටයුතු  රැසක් ඉටු කළ මීගහජඳුරේ ඥානරතන නාහිමියන් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 19 දා අපවත් වුහ.

සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ පොලිස් ප්‍රහාරයකින් ජීවිත අහිමිවූ නම දෙනකු සිහිකරමින් පිහිටුවා ඇති ස්මාරකය

සිව්වැනි ජගත් දෙමළ සමුළුව 

දෙස් විදෙස් උගතුන්ගේ දායකත්වයෙන් 1974 ජනවාරි 3 දායින් ඇරැඹී පුරා සතියක් තිස්සේ පැවති සිව්වැනි දෙමළ ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයේ අවසන් දිනයේ දී නොදන්වාම සම්මේලන භූමියට ඇතුල්වූ යාපනයේ සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසේකර ගේ නායකත්වයෙන් යුත් පොලිස් භට කණ්ඩායමක් විසින් වෙඩි තබන ලද්දේ කීර්තිමත් තමිල්නාඩු විද්වතකු වූ මහාචාර්ය නයිනා මොහමඩ් සිය දෙසුම පවත්වමින් සිටියදීය.

ජීප්රථ සහ වෑන්රථ වලින් පැමිණි පොලිස් භට පිරිස් යාපනයේ වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඉදිකර තිබු වේදිකාව අබියස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකායක් වෙත බැටන් පොලුවලින්, රයිෆල් කඳන් වලින් පහර දෙමින් වෙඩි තැබූ බව සමුළුවට එල්ලවූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තවුන් පසුව පවසා තිබුනි.

පොලිස් ප්‍රහාරයෙන් නම දෙනකු මරා දැමුනු අතර නගරය අවට දේපල විනාශ වී  තවත් 50 කට වැඩි ගණනක් බරපතල තුවාල ලැබුහ.

 

 

 

 

Related posts

Comments are closed.

Top