පෙරහැරට අලි දෙන්නට ජනපතිගෙන් සැලසුමක්

පෙරහැර පවත්වන විහාරස්ථාන සඳහා අලි ඇතුන් ලබාදීමට ජනාධිපතිවරයා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේ දී දියත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉංගිරිය ඉමගිර ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ විහාරස්ථානයේ 20 වැනි වරටත් පවත්වන ලද මිහිදු මහා පෙරහැර 24 ඉරිදා  රාත්‍රියේ වීදි සංචාරය කිරීමේ අවස්ථාවට එක්වෙමින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙහිදී සධාතුක  කරඬුව  තැන්පත් කිරීම අමාත්‍යවරයා අතින් සිදු වූ අතර පෙරහැරට එක්ව සිටි නර්තන ශිල්පීන්ට සහතික පත්‍ර ප්‍රදානයක් ද සිදු කර තිබේ.

“පෙරහැර පැවැත්වීමේ දී අලි ඇතුන් සපයා ගැනීම ගැටලුවක්. අලි ඇතුන් සංරක්ෂණය කළ යුතු බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. නමුත් අපගේ සංස්කෘතික දායාදයන් ද ආරක්ෂා කළ යුතුයි. අලි ඇතුන් ආරක්ෂා කිරීම ද ඉතා වැදගත්. මේ පිළිබදව මම ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූවා. පෙරහැර පවත්වන විහාරස්ථාන සදහා අලි ඇතුන් ලබාදිය යුතු බවට මතයක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ පිළිබදව අධ්‍යයනය කිරීමට කමිටුවක් ද පත් කෙරුනා. එම කමිටුව වාර්තාව ලබාදීමෙන් පසු අලි ඇතුන් ලබාදීම පිළිබද ක්‍රමවේදයක් ජනාධිපතිවරයා විසින් සකස් කිරිමට නියමිතව තිබෙනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

Related posts

Comments are closed.

Top