අලි මදිවට කොටි

‘කැලේ මාරු වුණත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ’  මේ සිංහල ජන වහරේ එන ප්‍රකට කියමනක්.

මීට අවුරුදු කිහිපයකට ඉස්සර නම් කොටි කියන වචනය අපිට නිතරම අහන්න ලැබුනා. හැබැයි ඒ කකුල් දෙකේ කොටි ගැන නම් නෙමෙයි. කකුල් හතරේ කොටි  ගැන.

කොහොම උනත් 2018 අවුරුද්ද ආරම්භ වෙනකොටම ආයිමත් කොටි කතා කරලියට ආවා.

හැටන් පන්මූර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනකුට අවුරුද්ද ලබන කොටම කොටියෙක් පහරදීම නිසා රෝහල්ගත වෙන්න සිදු උනා.

හැබැයි එතනදීනම් වෙලා තිබුනේ කොටියට ගහන්න ගිහිං ඉල්ලගෙන කෑමක් තමයි.

කොටියා අල්ලන්න  උගුලක් අටවලා තිබුනත් ඒ උගුලටත් කොටියා  හසුවෙලා නෑ.

කොටියා ගැන කොහොම උනත් ඌ අල්ලන්න ඇමට බල්ලෙක් යොදා ගැනීම ගැන නම් හුඟ දෙනකුගේ කතා බහට ලක් උනා.

ලංකාවේ අපි එක කොටියෙක් අල්ලන්න උගුල් අටවනකොට එංගලන්තයේ පිරිසක් ලංකාවේ කොටි පැටව් දෙදෙනකුට නම් තැබීම වෙනුවෙන්  තරගයක් පවත්වනවා කියලත් ඔය අස්සේ  වාර්තා උනා.

මේ තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ නෝෆෝක් ප්‍රාන්තයේ. ඒ බොන්හෑම් සත්ව උද්‍යානයේ  ඉපදුන ලංකාවේ කොටි පැවව් දෙදෙනකුට නම් තැබීම වෙනුවෙන් .

මෙම සත්ව උද්‍යානයේ  කළමනාකරු මයිකල් වුල්හෑම් කියන විදිහට ලංකාවේ කැලෑවල ඉන්නේ දහසකටත් අඩු කොටි ප්‍රමාණයක්.

පරිසරවේදී පුබුදු වීරරත්න කියන විදිහට ලංකාවේ වනාන්තර වල ඉන්න කොටි ප්‍රමාණය කීයක්ද කියලා සංගනනයක් කරලා නැති නිසා මයිකල් වුල්හෑම් කියන ප්‍රමාණය හරි වෙන්නත් පුලුවන්, වරදින්නත් පුලුවන්.

ශ්‍රී ලංකාවේ ජීවත්වන  දිවියන් පිළිබඳව නිසි සමීක්ෂණයක් පවත්වා නැතත් දිවියන් 800 ක් පමණ ශ්‍රී ලංකාව පුරා වෙසෙන බවට විශ්වාස කළ හැකි බව පශු වෛද්‍ය විජිත පෙරේරා මීට වසර දෙකකට පෙර සඳහන්  කරලා තිබුනා.

කොටිද දිවිද

කොහොම උනත් ලංකාවේ කොටි ගැන හොයලා බලනකොට දැනගන්න තියෙන්නේ  බළල් පවුලට අයත් විශේෂ 4ක්‌  ශ්‍රී ලංකාවේ ජීවත් වනවා කියලයි. ඒ හඳුන් දිවියා, වල් බළලා, කොළ දිවියා සහ ශ්‍රී ලංකා කොටියා විදිහටයි.

ඒ අතරින්  ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) යන විද්‍යාත්මක නමින් හැදින්වෙන්නේ  බිළාල කුලයට එහෙම නැත්නම්  බළල් කුලයට අයත් සාමාජිකයන් ගෙන් විශාලතම සාමාජිකයා.

ශ්‍රී ලංකාවේ ‌ සැම ප්‍රදේශයක ම වාගේ  කොටියා දක්‌නට ලැබුනත් එල්.ටී.ටී.ඊ සංවිධානය සිය අනසක පතුරුවාගෙන හිටපු යාපනය අර්ධද්වීපයේ කොටියන් දක්නට නොලැබීම හරියට  දෛවයේ සරදමක් වගේ.

හැබැයි ඉතින් සිංහයා කොඩියේ ගහගෙන ඉන්න අපේ  රටේ සිංහයොත් නෑනේ.

සමහරු නම් කියන්නේ ශ්‍රී ලංකාව තුළ කොටි නැති අතර සිටින්නේ  දිවියන් බවයි. නමුත්  පරිසරවේදී පුබුදු වීරරත්ත කියන්නේ කොටියා, දිවියා මේ නම් දෙකෙන්ම ලංකාවේ  හදුන්වන්නේ එකම සතා කියලයි.

හැබැයි ඔහු පෙන්වා දෙන  විදිහට අපේ රටේ ජනතාව කොටියා සදහා යොදා ගන්නා ඉංශ්‍රීසි වචනය   සිංහලට යොදා ගැනීමේදී  වචනය පටලවා ගැනීමක්නම් තියනවා.

තවත් පැහැදිලි කිරීමක් කළොත්, ශ්‍රී ලංකාවේ වෙසෙන දිගින් සහ විශාලත්වයෙන් වැඩි සතා කොටියා ලෙසත් අනික්‌ කුඩා ගනයේ සතුන් තිදෙනා  දිවියන් ලෙසත්  හඳුන්වනවා.

ලෝකය පුරා කොටි

පුබුදු වීරරත්න  කියන විදිහට කොටියා කියලා කියන්නේ ලෝකයේ වැඩිම ව්‍යප්තියක් තියන සතෙක්. අප්‍රිකානු මහද්වීපයේ ඉඳලා නැගෙනහිර චීනය දක්වා මොවුන් ව්‍යාප්තව ඉන්නවා.

ලංකාවේ තෙත් කළාපයේ වගේම වියළි කලාපයේත් ජීවත් වන මෙම කොටින් වෙරළබඩ ප්‍රදේශ තුළ වගේම ඝන වනාන්තර සහ ගම්මාන ආශ්‍රිත කැලෑ වලත් දැක ගන්න පුලුවන්.

බොන්හෑම් සත්ව උද්‍යානයේ  ඉපදුන ලංකාවේ කොටි පැටව් දෙදෙනා

හඳුන් දිවියා, වල් බළලා, කොළ දිවියා සහ ශ්‍රී ලංකා කොටියා කියන දිවියන් සියලුදෙනාම මේ වන විට වඳවීමේ තර්ජනයට ලක්වෙලා තියනවා කියලා තමයි පරිසරවේදී පුබුදු වීරරත්ත කියන්නේ.

ඒ වගේම අතීතයේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජීවත් වූ කොටින් එහෙම නැත්තම් දිවියන් මේ වන විට  යාල, විල්පත්තු, වස්‌ගමුව, ගල්ඔය වැනි ජාතික වනෝද්‍යාන හා  රක්‌ෂිතවලටත්  හෝර්ටන්තැන්න, නකල්ස්‌, සිංහරාජය, ශ්‍රී පාද අඩවිය, ආශ්‍රිත වන බිම්වලටත් සීමා වෙලා.

කොහොම නමුත් ලංකාවේ වැඩි පිරිසක් දිවියා ලෙස හඳුන්වන්නේ කොළ දිවියා සහ හඳුන් දිවියායි. වල් බළලා නැතිනම් කැලෑ  බළලා   ගැන වැඩි කතා බහක් නැති අතර  මිනිසුන් සමග ප්‍රශ්න ඇති කරගන්නේ ලංකාවේ කොටියා.

හඳුන් දිවියා

හඳුන් දිවියා කියන්නේ  ශ්‍රී ලංකාවේ ජීවත්වන බළල් කුලයේ දෙවැනි විශාලතම සත්ත්වයා. කොටියාට පමණක්‌ දෙවැනි වන හඳුන් දිවියා ශ්‍රී ලංකාවේ සියලු දේශගුණික කලාපවල දැක ගන්න පුලුවන්.

නිශාචර සතෙක්‌ වන හඳුන් දිවියා  කෑම සොයන්නට සැරිසරන්නේ රාත්‍රි කාලයේදීයි. ආහාර ලෙස මාළුන්, කුරුල්ලන්, කුඩා ක්‍ෂීරපායි සතුන් මෙයාගේ ගොදුරු බවට පත් වෙනවා.

හඳුන් දිවියා

හඳුන් දිවියා  අවුරුදු 12 ක්‌ පමණ ජීවත් වනවා කියලා තමයි පරිසරවේදීන් කියන්නේ. ඔවුන්ගේ වාසස්‌ථාන වන තෙත් බිම් විනාශ වීම මෙම සතුන් වඳවීමට  හේතුවක්ලු.

වල් බළලා

හඳුන් දිවියාට වඩා කුඩා වල් බළලා ලංකාවේ පහත රට, වියළි හා ශුෂ්ක කලාපවල ව්‍යාප්ත වී සිටිනවා.

දිවා කාලයේදී ගස් මුදුන් මත ලැග සිටින මේ සතා වැඩිපුර ක්‍රියාකාරි වන්නේ රාත්‍රි කාලයේදී‍යි.

තමාට වඩා  බලයෙන් අඩු ඕනෑම සතෙක්‌ ආහාරයට ගන්න වල් බළලාගේ ගොදුරු බවට වැඩි පුරම පත්වෙන්නේ  කුරුල්ලන්, මීයන්, හාවන් හා කුඩා ක්‌ෂීරපායි සතුන්.

කොළ දිවියා ‍

කොළ දිවියා ලෝකයේ වාසය කරන කැලෑ බළලුන් අතරින් කුඩාම එකා. ප්‍රමාණයෙන් කුඩා බළලකුට සමාන වන මෙම සතා දැක ගැනීමට ඉතා අපහසු අතර  නිශාචර දඩයක්‌කරුවෙක් කියලා තමයි පරිසරවේදීන් කියන්නේ.

කෘමීන්, කුඩා කුරුල්ලන්, මීයන්, ගෙම්බන්, කුඩා උරගයන් හා ගෙවල්වල  ඇති කරන කුකුළන් මෙම සත්වයාගේ ගොදුරු බවට පත්වෙනවා.

මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා වාස භූමි අහිමි වීමෙන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින කොළ දිවියා රථ වාහන අනතුරු වලට ලක්‌වීමත් ඔවුන් වඳ වීමට හේතුවක්.

කොළ දිවියා ‍

කඳුකරයේදී සහ අනෙකුත් ප්‍රදේශවලදී කුකුළු කොටුවලට පැන එහි සිටින කුකුළන් ආහාරයට ගැනීමට උත්සාහ ගැනීමේදී  මෙම සතා මිනිසුන් අතින් මරණයට පත්වුවත් ඒවා මාධ්‍ය වලනම් පළ වන්නේ නැ.

කොහොම වෙතත් අද දවසේ සමාජයේ  මාතෘකාව වෙලා තියෙන්නේ හඳුන් දිවියා, වල් බළලා, කොළ දිවියා නෙමෙයි.

මිනිසුන් සමග ගැටුම් ඇති කරගන්නා ලංකාවේ කොටියා ගැනයි.

පරිසරවේදී පුබුදු වීරරත්න කියන විදිහට ලංකාවේ කොටී කියන්නේ  මිනිසුන් සමග ගැටුම් ඇති කරගන්න පිරිසක් නෙමෙයි.උන් මිනිසුන් මගහරින පිරිසක් කියලා තමයි ඔහු කියන්නේ.

විශේෂයෙන් තනි වශයෙන් ජීවත් වන පිරිමි  කොටි   තම බල ප්‍රදේශ සීමා කරගන්නා අතර එවැනි පිරිමි සතුන් අතර ඇති වන ගැටුමක් නිසා වාසස්ථාන අහිමිවීමෙන්  හෝ ආහාර සොයා ගැනීමේ ප්‍රශ්නයක් නිසා මේ ආකාරයෙන් ජනතාව වෙසෙන පලාත්  වලට එන්න පුලුවන්.

විශාල ප්‍රමාණයේ ගෝනුන්, මුවන්, වල් ඌරන් මෙම සතුන්ගේ ආහාර වෙනවා වගේම ලංකාවේ කොටියා අවුරුදු 45 ක් පමණ ජීවත් වනවා කියලා තමයි පරිසරවේදී පුබුදු වීරරත්න කියන්නේ.

වල් බළලා

කොටියාට එරෙහිව මිනිසා

මිනිසා විසින් කැලෑ ගිනි තැබීම, සංවර්ධන කටයුතු සඳහා කැලෑ එළිකිරීම හේතුවෙන් වාස භූමි අහිමි වීම සහ ආහාර අඩුවීම වැනි කරුණු හේතුවෙන් ගම් වදින දිවියා, අවසානයේදී මිනිසා අතින් මරණය වැලඳ ගන්නවා.

පසුගිය වසර පහක පමණ කාලය ඇතුලත යාල සහ අවට ප්‍රදේශවලදී මානව ක්‍රියාවන් සහ පාරිසරික හේතූන් නිසා දිවියන් විසිදෙනකු පමණ මියගොස් ඇති බව එම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ පශු වෛද්‍ය විජිත පෙරේරා 2015 වසරේදී  ප්‍රකාශ කරලා තිබුණා.

කළු දිවියා එහෙම නැත්තම්  කළු කොටියා ගැන  ලංකාව තුළදී ඉතා සිමීත අවස්ථා ගණනාවකදී පමණක් තොරතුරු වාර්තා වෙලා තිබුනත් කලු දිවියා කියන්නේ වෙනම කොටි වර්ගයක්ද එහෙම නැත්නම් ජාන විකෘති තත්ත්වයකට පත් වීමෙන් සිදු වෙච්ච දෙයක්ද කියල නම් හරියටම තොරතුරක් නෑ.

ජාත්‍යන්තර රතු දත්ත ලේඛනයට අනුව වඳවී යැමේ තර්ජනයට මුහුණ දී සිටින  දිවියා, 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක (සංශෝධන) ආඥා පනත යටතේ දැඩි ලෙස ආරක්‌ෂිත සතකු ලෙසත් නම් කර තියෙනවා.

කොහොම උනත් අලි මිනිස් ගැටුම වගේ කොටි මිනිස් ගැටුම තව දුරටත් ඉදිරියට අරගෙන යන්නේ නැතිව මිනිසුන්ගේ වගේම කොටින්ගේ ජීවිත ටිකත් ආරක්ෂා  වෙන විදිහට වැඩ කටයුතු සංවිධානය කරන එකනම් බලධාරීන් ගේ යුතුකමක් වගේම වගකීමක්.

චතුරංග බණ්ඩාර

Related posts

Comments are closed.

Top