මහා බාධක පරය රැකීමට ඩොලර් කෝටි හයක්

 

ලෝකයේ ඉහලම ජෛව විවිධත්වයක් සහිත පාරිසරික කලාපයක් ලෙස ලෝක උරුමයක් බවට නම් කොට ඇති ඕස්ට්‍රේලියානු මහා බාධක කොරල් පරයේ ජීව ගුණය ඉහල නැංවීම සඳහා ඩොලර් මිලියන 60 ක මුදලක් යෙදවීමේ සැලැස්මක් එම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

“සියලු ඕස්ට්‍රේලියානුවන්ගේ, විශේෂයෙන්ම කොරල් පරයෙන් සිය ජීවිකාව සරිකරගන්නා පුද්ගලයන්ගේ යහපත උදෙසා එහි අනාගතය සුරක්ෂිත කිරීමට අපට අවශ්‍යයි,” යනුවෙන් 22 සඳුදා එරට රජය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වී ඇත.

සාගර ජලයේ උෂ්ණත්වය ඉහල යාමේ ප්‍රතිපලයක් ලෙස 2016 සහ 2017 වර්ෂ වලදී කොරල්පරය විශාල වශයෙන් විරංජනයට ලක්ව ඇති බව විද්‍යාඥයන් මින් පෙර පවසා තිබුණි.

තව ද කොරල් කා දමන කටු ඔටුනු තාරකා මාළුවා සහ සුළි සුළං නිසා ද මහා බාධක පරයට හානි සිදු වී ඇත.

ඒ අනුව ප්‍රධාන වශයෙන් තාරකා මාළු සහ පාංශු ඛාදනය යන ගැටළු ඉලක්ක කරගනිමින් සිව් ආකාරයකින් නව මුල්‍යමය ප්‍රතිපාදන යෙදවීමට ඕස්ට්‍රේලියා රජය බලාපොරොත්තු වේ.

එම සිව් ආකාරය මෙසේය,

  • පාංශු ඛාදනය වැළක්වීම සඳහා කොරල් පරයේ ජල පෝෂක ස්ථාන ආශ්‍රිතව වෘක්ෂලතා රෝපණය වෙනුවෙන් ගොවින්ට ඩොලර් මිලියන 36ක්.
  • කටු ඔටුනු තාරකා මාළු ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා ඩොලර් මිලියන 10ක්.
  • කොරල් වඩාත් “ඔරොත්තු” දෙන මට්ටමට ක්‍රමවේද දියුණු කිරීමට විද්‍යා ආයතන සඳහා ඩොලර් මිලියන 6ක්.
  • කොරල් විරංජනය පිළිබඳව අනතුරු ඇඟවීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් වැඩි ප්‍රමාණයක් යොදවා ගැනීමට ඩොලර් මිලියන 4 ක්.

 

කටු ඔටුනු තාරකා මාළු සහ ජල දුෂණය අතර “ශක්තිමත් සබැඳියාවක්” තිබෙන බව ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් පැවසුවේය.

“සිඝ්‍රයෙන් ඉහල යන තර්ජන වලට කොරල්පරය මුහුණ දෙන අතරේ ඒවා කළමනාකරණය කිරීම සඳහා නායකත්වය සැපයීමට අපි අදහස් කරන්නෙමු,”  යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

පාරිසරික විවේචනය

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය මඟින් දේශගුණ විපර්යාසය පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකිරීම පිළිබඳව සමහර පාරිසරික කණ්ඩායම් රජය වෙත විවේචන එල්ල කර තිබේ.

ඕස්ට්‍රේලියානු කොරල් පරය යනු ලෝක උරුම ස්ථාන අතුරින් ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානයක් ලෙසත්, විශාල විද්‍යාත්මක සහ නෛසර්ගික වටිනාකමකින් යුත් ස්ථානයක් ලෙසත් එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එමඟින් වසරකට ඩොලර් බිලියන 6.4 ක ආදායමක් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට එක්වන බවට ගණන් බලා ඇත.

Related posts

Comments are closed.

Top