ඌව මහ ඇමැතිට ඇප ලබා ගැනීමට “පොලිස් සහාය ලැබිලා”| VIDEO

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට හිරිහැර කිරීමේ චෝදනාවට ලක්වු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පොලීසියට භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ ඇප ලබා දීමට ඉඩ සැලසෙන ආකාරයේ බී වාර්තාවක් මගින් බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගම් නායකයකු චෝදනා කරයි.

එය “සැලසුම් සහගත රංගනයක්” බව ප්‍රකාශ කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ මහ ඇමැති චාමර සම්පත් දසනායක පොලීසියට භාර වන විටත් ඔහුට ආධාර කිරීම සදහා ඔහු විසින්ම දහසකට අධික පිරිසක් සංවිධානය කර තිබු බවයි.

අධිකරණයට ඉදිරිපත් කරන විට තමා අනිවාර්යෙන්ම ඇප පිට නිදහස් වන බව චාමර සම්පත් දසනායක දැන සිටි බව ජෝසප් ස්ටාලින් සදහන් කළේ විදුහල්පතිනිය දණගැස්වීය සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගය 25 බ්‍රහස්පතින්දා පැය 10ක් පුරා කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමෙන් පසු 26 සිකුරාදා දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එය රටේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් රැවටීමක් බව පෙන්වා දෙන ගුරු සංගම් නායකයා එහිදී අවධාරණය කර සිටියේ කළින් ඉදිරිපත් කල බී වාර්තාව වෙනුවට විධිමත් බී වාර්තාවක් සකස් කර මහ ඇමැති වරයා නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවයි.


අධ්‍යාපන බලධාරීන්

මහ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපයට අනුබල දුන් රජයේ අධ්‍යාපන බලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර ඔවුන් අයත් විනය බලධාරීන් හරහා දඩුවම් ලබා දෙන ලෙසත් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.

විදුහල්පතිනි රඝුනාත් භවානි දණ ගැස්විම හා තර්ජනය කර ප්‍රකාශයක් ලබා ගැනීමේ චෝදනාවට ලක්වන ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රණසිංහ යන අයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පසුගියදා සිතාසි නිකුත් කර තිබුණි.

ඔවුනට අමතරව බදුල්ල පොලිස් ස්ථානාධිපතිටත් පළාත් සභාවේ සේවය කරන මාධ්‍ය වේදීන් වන පාලිත ආරියවංශ, ප්‍රසන්න පත්මසිරි, අමිල ක්‍රිෂාන්ත  රත්නායක යන පිරිසද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කැඳවා තිබුණි.

චූදිත අධ්‍යක්ෂ රාජකාරියේ

බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ ඊයේ දිනයේ  විමර්ශනයට සහභාගි  නොවූ අතර  ඔහු එයට හේතු ලෙස දන්වා තිබුනේ  මැතිවරණ රාජකාරි නිසා පැමිණිය  නොහැකි බවයි.

බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ද කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී නොසිටිය නමුත් ඔහු වෙනුවෙන්  පොලිස් පරීක්ෂකවරයකු  සහභාගි වු බව ගගන වාර්තාකරු පවසයි.

ලංකා ගුරු සංගමයේ ලේකම්  ජෝසප් ස්ටාලින් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් සිදුකළ පැමිණිලි 2 කට අනුව මෙම කැදවීම් සිදු කර තිබුනි.

පැය  දහයක් පුරා සියලු පාර්ශවවලින්  කරුණු සටහන් කර ගත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩි දුරටත් දන්වා ඇත්තේ තවත් කරුණු  සදහන් කිරීමට ඇත්නම් එය මේ මස  30 වැනිදාට පෙර දැනුම් දෙන ලෙසයි.

 

 

Related posts

Comments are closed.

Top