හමුදාව වාඩිලා සිටින උතුරේ ඉඩමක් නිල වශයෙන් පවරා ගැනීමේ වෑයම වරදී | VIDEO

දේශීය හා ජාත්‍යන්තර විරෝධය මධ්‍යයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ අනවසරයෙන් වාඩිලාගෙන සිටින උතුරේ පුද්ගලික ඉඩමක් නිල වශයෙන් පවරා ගන්නට ආණ්ඩුවේ බලධාරීන් ගත් උත්සාහයක් ප්‍රදේශවාසීන්ගේ විරෝධය නිසා තාවකාලිකව වැළකී ගොස් තිබේ.

වසර දහයකටත් වැඩි කලක් තිස්සේ නාවික හමුදාව විසින් අල්ලාගෙන සිටින යාපනය කයිට්ස් දුපතේ භූමි භාගයක මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරුත්තියඩෙයිප්පු මුල් ගම් වාසීන් විසින් හරවා යවා ඇත්තේ 25 බ්‍රහස්පතින්දා යි.

ඉඩම් හිමියා විසින් එදින ප්‍රාදේශීය රජයේ නිලධාරීන්ට ලිඛිතව පවසා ඇත්තේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් තමන් හට කිසිදු පූර්ව දැනුම්දීමක් කර නැති බවයි.

වේලනෙයි ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව කඳවුරට මුරපොලක් ඉදිකිරීම සඳහා එම ඉඩම පවරා ගැනීමට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක ගේ ද නිර්දේශ පරිදි පියවර ගන්නා බව රජයේ මිනින්දෝරු ඊ ටී යෝගදීපන් විසින් ජනවාරි 10 දිනැති ලිපියකින් යාපනය දිස්ත්‍රික් මිනින්දෝරු යෝගරත්නම් කදිරගාමනාදන් හට දැනුම් දී තිබුනි.

ගගන අත පත් එම ලිපියේ පිටපත් යවා ඇත්තේ ප්‍රාදේශීය සභාවට, කංචදේව නාවික කඳවුරේ ප්‍රධානියාට සහ ග්‍රාම නිලධාරී වෙතයි.

කෙසේ වෙතත්, ආණ්ඩුවේ ඉඩම් පවරා ගැනීමේ සැලසුම් කිසිවක් සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නැති බව පරුත්තියඩෙයිප්පු සමුද්‍ර වීදියේ පිහිටි ඉඩමේ හිමිකරු වන පුෂ්පරාජ් සුජීවරාසා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මගින් කයිට්ස් ප්‍රාදේශීය ලේකම් වරයා ට දැනුම් දී ඇත.

කිසිදු අවසරයකින් තොරව බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින භූමිය කොටස් වශයෙන් නිල වශයෙන්ම පවරා ගැනීම රජයේ යටි අරමුණ බවට ඉඩම් හිමියන් සමග එක්වී විරෝධය පෑ කඳවුර අවට නිවාස හිමි පවුල් ගණනාවක ගම්වාසීහු බිය පළකර සිටිති.

මහජන විරෝධය හමුවේ ඉඩම් මැනීමේ උත්සාහය ඡන්ද සමයේ අතහැර දැමුවත්, මැතිවරණයෙන් අනතුරුව රජයේ හා හමුදාවේ බලධාරීන් තම සැලසුම ක්‍රියාවේ යොදවනු ඇති බව ගම්වාසීන්ගේ විශ්වාසයයි.

ළමයි හදාගන්නේ කොහොමද?

නාවික හමුදාව කඳවුරු ලා සිටින්නේ පවුල් දෙකකට අයත් ඉඩමක වුවද ඒ අවට 30 කට ආසන්න පවුල් සංඛ්‍යාවක සාමාජිකයන් කියා සිටින්නේ තමන්ගේ පාරම්පරික නිවෙස් වල පදිංචි වී සාමාන්‍ය ලෙස දිවි ගෙවීම අසීරු වීම නිසා පළාත හැර යාමට සිදුවී ඇති බවයි.

“හමුදා කඳවුරක් අස්සේ අපි ළමයි ආරක්ෂා කරගන්නේ කොහොමදැ” යි එක් මාතාවක් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කර සිටියාය.

නාවික හමුදා කඳවුර අවට පිහිටි තම ගේදොර කඩා බිඳ දමා ඇති බවට ද පරුත්තියඩෙයිප්පු ගම්වාසීහු චෝදනා කරති.

උතුරු නැගෙනහිර ඉඩම් හමුදා පාලනයෙන් මුදා හරින ලෙස විපක්ෂ නායක ආර් සම්බන්ධන් පසුගියදා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ දේශපාලන නියෝජිතයාගෙන් ඉල්ලා තිබුනු අතර දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති පරිදි යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම යන උතුරේ දිස්ත්‍රික්ක හතරේ ආරක්ෂක හමුදා වාඩිලාගෙන සිටින භූමි ප්‍රමාණය අක්කර 16,000 කි.

ඔප්පු සහිත පිරිස් වෙත ඉඩම් නිදහස් කරන බවට නාවික හමුදාව දී තිබු පොරොන්දු මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බවටද චෝදනා කරන පරුත්තියඩෙයිප්පු ජනතාව දැන්වත් තමන්ට නිදහසේ ජීවත්වීමට ඉඩදී කඳවුරු හකුලා ගන්නා ලෙස රජයට බලකර සිටිති.

Related posts

Comments are closed.

Top