ඉන්දුනීසියානු හමුදාවේ අපයෝජන නවත්වන ලෙස ජාත්‍යන්තර බලපෑම්

ඉන්දුනීසියානු හමුදා නිලධාරීන් විසින් සිදු කරනු ලබන අපයෝජන නවතා දැමීමටත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා වගකිව යුත්තන්ට එරෙහිව නිසි දඬුවම් ලබා දීමටත් එරට හමුදාව අනිවාර්යයෙන් ක්‍රියා කළ යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් අවධාරණය කරයි.

එරට නව ජාතික සන්නද්ධ හමුදා (TNI) අණදෙන නිලධාරී මාෂල් හදි ජජන්තෝ වෙත විවෘත ලිපියක් යොමු කරමින් 25 බ්‍රහස්පතින්දා හියුමන් රයිට්ස් වොච් ආයතනය මේ බව පවසා තිබේ.

හිටපු ගුවන් හමුදා ප්‍රධානි ජජන්තෝ නව ධුරයේ පිහිටවනු ලැබුවේ ජනවාරි 18 වැනිදා ය.

ඒ මීට දිනකට ඉහතදී දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දුනීසියානු ජනපති ජොකෝ විඩොඩෝ අතිනි.

“කන්‍යාභාව පරික්ෂාව” තහනම් කරන්න

එරට සන්නද්ධ බලකායට ඇතුලත් වීම සඳහා කාන්තා අයදුම්කරුවන්ට අනිවාර්ය කර තිබෙන “කන්‍යාභාව පරික්ෂාව” නම් පරීක්ෂණ පැවැත්වීම නව ජාතික සන්නද්ධ හමුදා අණදෙන නිලධාරීවරයා විසින් තහනම් කළ යුතු යැයි හියුමන් රයිට්ස් වොච් පවසයි.

අවමන සහගත කන්‍යාභාව පරික්ෂාව තහනම් කිරීමට නියෝග ලබා දෙන්නැයි මින් පෙරදී ද මෙම සංවිධානය ඉන්දුනීසියා ජනපති ගෙන් ඉල්ලා තිබුණි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළුව ජාත්‍යන්තර වශයෙන් අවමානයෙන් බැහැර කරනු ලබන මෙවැනි පිළිවෙත් ලිංගභේදය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ එක් පැතිකඩක් බව ඔවුන් පෙන්වා දී ඇත.

“සිය රට වෙනුවෙන් සේවය කිරීම උදෙසා හමුදාවට බැඳීමට අපේක්ෂා කරන කාන්තාවන් අපවාදාත්මක සහ කාන්තාවන්ට වෙනස්ව සලකන කන්‍යා පරික්ෂාවට තමන් විසින්ම යටත් විය යුතු නැහැ,” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් හි ආසියා කලාපිය අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් පැවසුවේය.

වදහිංසා, නඩු නැති ඝාතන

එසේම එරට හමුදා නිලධාරීන් සම්බන්ධ යැයි සැලකෙන – වදහිංසා සහ නීති විරෝධී ඝාතන ඇතුලත් අපයෝජන පිළිබඳ විමර්ශන කඩිනමින්, විනිවිදභාවයෙන් සහ අපක්ෂපාති අයුරින් සිදු කිරීමටත් ඒවාට වගකිව යුත්තන් හට නිසි දඬුවම් ලබා දීමටත් ක්‍රියා කළ යුතු බව ඔවුන් සඳහන් කරයි.

“මානව හිමිකම් කඩ කිරීම් වලට සම්බන්ධ සෙබළුන්ට එරෙහිව සිවිල් අධිකරණ බල ගැන්වීම සඳහා නීති ප්‍රතිසංස්කරණය කිරීමට මාෂල් ජජන්තෝ ප්‍රසිද්ධියේ සහයෝගය දැක්විය යුතුයි,” යැයි හියුමන් රයිට්ස් වොච් හි ආසියා කලාපීය අධ්‍යක්ෂවරයා පැවසුවේය.

“ඉන්දුනීසියා හමුදාවේ වගකීම් දැරීම සඳහා එය තීරණාත්මක පියවරක් වනු ඇත.”

ශ්‍රී ලංකාවේ තුන්දින නිල සංචාරයක යෙදුනු ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සමග සාකච්ඡා වලදී දෙරට  අතර පවතින ශක්තිමත් සාමුද්‍රික සබඳතා කෙරෙහි සැලකිල්ල යොමුකරමින්, වෙළෙඳාම සහ ආයෝජනයට අදාළ අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බව රාජ්‍ය දෙකේ ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.

 

Related posts

Comments are closed.

Top