නිකරුනේ හිරේ දැමූ ත්‍රස්ත සැකකරුවන්ට වන්දි ගෙවන ලෙස ජාත්‍යන්තර ඉල්ලීමක් | VIDEO

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන අවුරුදු ගණන් සිරගත කොට තබා නිදහස් කරනු ලැබූ රැඳවියන් සියලු දෙනාටම වන්දි ගෙවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

වර්තමාන පාලනය යටතේ 2016 දීත් අඩුම වශයෙන් 11 දෙනකු ත්‍රස්ත චෝදනා නගා අත් අඩංගුවට ගෙන ඇතැයි පවසන හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය ජිනීවා නුවරින් එළිදැක්වූ වාර්තාවකින් රජයට බල කොට ඇත්තේ තුන් වසරකට ඉහතදී පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරන ලෙසයි.

“නිදොස් කරනු ලැබූ හෝ චෝදනා නැතිව නිදහස් කරනු ලැබූ  PTA රැඳවියන් සියලු දෙනාටම ආණ්ඩුවේ සංක්‍රාන්ති යුක්ති සහ පුනරාවර්තනය වැලැක්වීමේ යාන්ත්‍රණ යටතේ වන්දි ගෙවීම සහතික කරන,” ලෙස  HRW නිර්දේශ කර තිබේ.

“සාක්කි නැතිව හිරේ දැමීම: ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් කෙරෙන කෙලෙසීම්” නම් පිටු 46 ක වාර්තාවෙන් දිවයිනේ ත්‍රස්ත විරෝධී නීති දැඩි ලෙස හෙලා දකින HRW සංවිධානය අලුතින් ගෙන එන්නට සූදානම් වන ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත් කෙටුම්පත (CTA) පවා මානව හිමිකම් උල්ලංඝනයට ඉඩ සලසන, ජාත්‍යන්තර ප්‍රමිතියට නොගැලපෙන්නක් බව පෙන්වා දෙයි.

කතා විතරයි, වැඩ නෑ

HRW ආසියානු අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් පවසන පරිදි “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දුන් පොරොන්දු වැඩ නැති කතාවලට පමණක් සීමා වී ඇත.”

ත්‍රස්ත විරෝධී අණ පනත් කිසිවක් අලුතින් සම්මත කර ගැනීමට පෙර ඒ තුල ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානව හිමිකම් පිලිබඳ විශේෂ නියෝජිතයා ලබා දී ඇති නිර්දේශ ඇතුලත්  කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන ලෙසත් HRW එක්සත් ජාතීන් ගෙන්ද ඉල්ලා තිබේ.

“ජාතික ආරක්ෂාවේ නාමයෙන් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගන්නවුන් ට එරෙහිව වධහිංසා කිරීම එදා මෙන්ම අදත්, ආවේනික සහ දෛනික චර්යාවක් ලෙසින් පවතින බව නිගමනය කිරීමට අවශ්‍ය සියලුම සාක්ෂි තිබේ,” යි විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් දිවයිනේ සිව්දින නිල සංචාරයක් හමාරයේ පසුගිය අගෝස්තුවේ අවධාරණය කර තිබුනි.

“ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව, ස්වෛරී භාවය සහ ජාතික ආරක්ෂාව” අනතුරේ හෙලන කටයුතු වලට එරෙහිව යොදා ගත හැකි බව සඳහන් කෙරෙන අලුත් CTA පනත සාමකාමී දේශපාලන ක්‍රියාකාරකම් සහ උද්ඝෝෂණ මර්දනයට අනාගතයේ භාවිතා කිරීමේ අනතුරක් ඇති බව HRW පෙන්වා දෙයි.

TID හා හමුදාව

පාපොච්චාරණ සාක්ෂිය ලෙස යොදා ගනිමින් නඩු පැවරීම අත් හිටුවීම, සියලු රැඳවුම් ස්ථාන වලට කිසිදු බාධාවකින් තොරව ඇතුල්වීමේ වරම ශ්‍රී ලංකා මානව හිමිකම කොමිසමට ලබාදීම සහ නීතිපතිවරයාට ලබා දී ඇති ඇප දීම සඳහා වන පූර්ණ අධිකාරිය අහෝසි කිරීම විශේෂ වාර්තාකරු නව පනතට ඇතුලත් කිරීම සඳහා කළ නිර්දේශ අතර වේ.

විවිධ පසුබිම් වලට අයත් ශ්‍රී ලාංකික කාන්තාවන් සහ පිරිමින් වසර ගණනාවක් තිස්සේ නිල හා නිල නොවන හිරගෙවල විඳි වධබන්ධන අලුත් විස්තර කරන HRW වාර්තාව ඒ කුරිරු ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල කොට ඇත්තේ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයට (TID)  සහ යුද හමුදාවටයි.

කම්පා කරවන සුළු වධහිංසා පිළිබඳව වාර්තාවට කරුනු දක්වා 17 දෙනකු අතරින් 11 ක්‌ම පහර දීමට සහ වධහිංසාවට ලක්වූවීම පිලිබඳ විස්තර ගෙනෙන HRW සංවිධානය “එමගින් පෙන්නුම් කරන්නේ සමස්ත PTA සිද්ධි වලින් අංශු මාත්‍රයක් වුවද, නීතියේ දුෂ්ට ස්වභාවය සහ එය අපචාරාත්මක ලෙස ක්‍රියාවේ යෙදවීම පිළිබඳව එය මැනවින් ගෙනහැර දක්වයි,” යනුවෙන් පවසයි.

පනත වැඩිවශයෙන්ම යොදාගෙන ඇත්තේ දෙමළ ජනතාවට එරෙහිව බව වාර්තාවේ දැක්වේ.

වාර්තාව සමග එලි දක්වා ඇති කෙටි වීඩියෝවේ තමන් විඳි වධබන්ධන සම්බන්ධයෙන් සිංහල කොටි චෝදනා නගා සිරගත කර සිටි සුදේශ් නන්දිමාල් සහ  “දුර්ගා” නමින් හඳුන්වා ඇති එල්ටීටීඊ සම්බන්ධතා ඇති බවට සැක කෙරෙන අයකුගේ බිරිඳද සිංහලෙන් හා දෙමලෙන් කරන විස්තරද ඇතුලත්ය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වධහිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා කෙරෙන රජයේ ආරක්ෂක සේනා නිලධාරීන් කිසිවකුත් විදේශීය සාමසාධක මෙහෙයුම් වලට යොදා ගත නොහැකි වන සේ දැඩි පූර්ව සෝදිසියක් කරන ලෙස ද  HRW සංවිධානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

Comments are closed.

Top