මානුස් දූපතේ මනුස්ස ජීවිත අනතුරේ හෙලන බවට ඔස්ට්‍රේලියාවට චෝදනා 

 

පැපුවා නිව් ගිනීයා මානුස් දිවයිනේ නව වාසස්ථාන වල වෙසෙන සරණාගතයන් සහ දේශපාලන රැකවරණ අපේක්ෂා කරන සියයකට අධික පිරිසකගේ ජීවිත  අනතුරේ හෙළා ඇති බවට ඕස්ට්‍රේලියානු රජයට ජාත්‍යන්තර චෝදනාවක්  එල්ල වී තිබේ.

ආරක්ෂාව සලසනවා වෙනුවට දඬුවම් විඳීමට වඩාත් සමාන තත්වයක් යටතේ ඔවුන් අතරමං කර දමා ඇතැයි ඇම්නස්ටි රාජ්‍ය නොවන ආයතනය 1 බ්‍රහස්පතින්දා නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

පසුගිය නොවැම්බරයේදී සරණාගත පිරිස් බලහත්කාරයෙන් ලොරෙන්ගෝ නව වාසස්ථාන වෙත මාරු කළ නමුත් ඒවායෙහි ප්‍රමාණවත් පහසුකම් නොමැති බවත් එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවගෙන් සරණාගතයන්ට ජිවිත තර්ජන එල්ල වන බවත් ඔවුන් අවධාරණය කර ඇත.

අපායකින් තව අපායකට

ප්‍රදේශවාසීන් විසින් එල්ල කරනු ලබන දරුණු ප්‍රහාර සහ කොල්ලකෑම් නිසා කඳවුරු වලින් පිටතට යාමට තමන් ඉතා බිය වන බව අනාථයන් කිහිප දෙනකුම  ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය වෙත පවසා තිබේ.

ප්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීමට හෝ ඒවාට වගකිව යුත්තන් අත්අඩංගුවට ගැනීමට හෝ ආරක්ෂක අංශ අසමත් වීම, බලධාරීන් කෙරෙහි තබා ඇති විශ්වාසය තව තවත් පළුදු කිරීමක් බව වාර්තාවේ සඳහන්ව ඇත.

“සරණාගතයන් සහ දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නන් එක අපායකින් තවත් අපායකට ඇද දැමීම ගැටලුවකට විසඳුමක් නෙවෙයි. එයින් වෙන්නේ මේ මිනිසුන්ගේ දුක්ඛිත තත්වය තව තවත් දිග්ගස්සන එක විතරයි. මානුස් නව වාසස්ථාන එහි වාසය කරන්නන්ගේ ආරක්ෂාවට තර්ජනයක් පමණක් නොවේ. ඔවුන් මුලික පහසුකම් නොමැති ස්ථානයක අතහැර දැමීමක්,” යනුවෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරයේ පැසිෆික් ගවේෂක කේට් ශුඅට්සේ පවසා තිබේ.

“වගකීම් පැහැර හැරීම සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සඳහා නව නිර්මාණශීලි ක්‍රම යොදා ගන්නවා වෙනුවට කෘරත්වයේ සහ නොසලකා හැරීමේ මුරණ්ඩු ප්‍රතිපත්ති ඔස්ට්‍රේලියා රජය නවතා දැමිය යුතුයි. මෙම පුද්ගලයන් තමන්ගේ රට තුලට ගෙන්වා ගෙන ඔවුන්ට අවශ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා උවමනා කරන  ආරක්ෂාකාරී සහ නිත්‍යානුකුල දේවල් පමණක් ඔස්ට්‍රේලියාව සිදු කළ යුතුයි.”

මානුස් දිවයිනේ නව වාසස්ථාන වල වෙසෙන සරණාගතයන් සහ දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නන් 55 දෙනකු සමඟ ඇම්නස්ටි සංවිධානය පැවැත්වූ සම්මුඛ සාකච්ඡා ‘ආරක්ෂාවක් නොවේ දඬුවමක්: පැපුවා නිව් ගිනීයා හි සරණාගතයන් සහ දේශපාලන රැකවරණ පතන්නන් ට ඔස්ට්‍රේලියාව දක්වන සැලකිල්ල’ යන වාර්තාව සඳහා පාදක වී තිබේ.

Related posts

Comments are closed.

Top