ආණ්ඩුවට විරුද්ධව මාලදිවයින් උසාවි තීන්දුවක්

 

හිටපු මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ් සහ අනෙකුත් විපක්ෂ නායකයන් වහාම නිදහස් කරන ලෙසටත් නඩු විභාගය නැවත පවත්වන ලෙසටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දු කර තිබේ.

මින් පෙර පැවැත්වුණු නඩු විභාගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර ඇතැයි 1 බ්‍රහස්පතින්දා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සිය මන්ත්‍රී ආසන අහිමි වූ විපක්ෂයේ 12 දෙනකු වෙත එම තනතුරු නැවත හිමිවිය යුතුය.

උසාවි තීන්දුවෙන් සතුටට පත් විපක්ෂ ආධාරකරුවන් ප්‍රීති උත්සව පවත්වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මාලේ අගනුවරට රැස් වූ එක් කණ්ඩායමක් විසිරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ධුරයෙන් නෙරපන්න

දුෂිත පාලනය, මානව හිමිකම් කඩකිරීම සහ පෙර නොවූ විරු දුෂණ වංචා යන චෝදනා එල්ල වීම නිසා ජනපති අබ්දුල්ලා යමීන් තාවකාලිකව ධුරයෙන් නෙරපන ලෙසත් ඔහුට එරෙහි චෝදනා විභාග කරන ලෙසත් ඉල්ලා විපක්ෂ සන්ධානය විසින් 28 ඉරිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුව හිටපු ජනපති ඇතුළු විපක්ෂ නායකයන් නිදහස් කිරීමේ තීරණය හිමි වී තිබේ.

පෙත්සම සඳහා මොහොමඩ් නෂීඩ් මෙන්ම ඔහුට පෙර ජනපති ධුරය දැරූ මෞමුන් අබ්දුල් ගයුම් ද අත්සන් තබා ඇත.

“අධිකරණ තීන්දුවට ගරු කරමින් (අබුදුල්ලා යමීන්) ඉල්ලා අස් විය යුතු” යැයි, නවතම නඩු තීන්දුව පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කළ හිටපු මාලදිවයින් පාලක මොහොමඩ් නෂීඩ් පවසා තිබේ.

ජාත්‍යන්තර දෝෂ දර්ශනයට

ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ ප්‍රථම මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ්ගේ පාලන සමයේ දී විනිශ්චයකාරවරයෙක් අත්අඩංගුවට ගැනීමට අදාලව ඔහු වෙත 2015 දී “ත්‍රස්තවාදී” චෝදනා එල්ල කර තිබුණි.

ඊට වරදකරු වූ හිටපු ජනපතිට 13 වසරක් සිර දඬුවම් නියම වීමෙන් පසු රට තුල දේශපාලනික වශයෙන් නොසන්සුන්තාවයක් හට ගත්තේය.

ඔහුට එරෙහිව ලබාදුන් මෙම තීන්දුව ජාත්‍යන්තරයේ දෝෂ දර්ශනයට ලක් වූ අතර එක්සත් රාජධානිය විසින් ඔහුට දේශපාලන රැකවරණය සපයන ලදී.

Related posts

Comments are closed.

Top