එජාප පාලනයේ දෙමළ ජනඝාතනයක 31 වසර සමරයි | VIDEO

ජේ ආර් ජයවර්ධන පාලන සමයේ නැගෙනහිර පළාතේ කරන ලද සමූහඝාතනයකින් තිස් එක් වසරකට ඉහතදී  මියගිය දෙමළ සිය ගණනක් සමරා කොක්කඩිචෝලෙයි හි අනුස්මරණෝත්සවයක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදා විසින් වැඩිදෙනකු ඝාතනය කරන ලද මගිලඩිතීවූ හි ඉදිකොට ඇති සමාධිය අබියස ඥාතීන් හා එක්ව සමරුව සංවිධානය කර තිබුනේ ඉලංගෙයි තමිල් අරසු කච්චි, පට්ටිප්පලෙයි කාර්යාලය විසිනි.

එක්සත් ජාතික පක්ෂය නැවත පාලන බලය දරන අදත් මරාදමන ලද අය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවී නැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී අරියනේන්ද්‍රන් අනුස්මරණ සභාව අමතා පවසා තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රී නේසන් පවසා ඇත්තේ ඝාතනයට වගකිව යුතු දේශපාලකයන් සමග හවුල්වී දෙමළ නායකයන්ද මෙවර පළාත් පාලන මැතිවරණයේ තරග වැදීම කනගාටුවට කරුණක් බවයි.

මරා දමනු ලැබුවන්ගේ ඥාතීන් ප්‍රකාශ කර ඇති පරිදි 1987 ජනවාරි 27 දා හෙලිකොප්ටර් කීපයක් පලාතට උඩින් කිහිප වතාවක් පියාසර කර තිබේ.

ඊට පසුදා වෙල්ලාවලි, කොන්ඩවට්ටුවාන්, කලුවන්චිකුඩි සහ කල්ලඩි කඳවුරු වලින් ආ හමුදා ට්‍රක් රථ වලින් ගමට ඇතුල් වූ හමුදා සහ පොලිස් කාර්ය සාධක බලකා (STF) සෙබළුන් මගිලඩිතීවූ ඉස්සන් ගොවිපලට ගොස් එහි සේවය කළ සියයකට අධික පිරිස කපා, කොටා වෙඩිතබා බරා දමන ලද බව මානව හිමිකම් පිළිබඳ උතුරු නැගෙනහිර කාර්යාංශය (NESOHR) ආයතනය වාර්තා කර තිබේ.

එතැනින් යාබද වී මෝලට කඩා වැදුනු සෙබළුන් තවත් හතළිහකට අධික පිරිසක් ඝාතනය කර තිබේ.

මරුදුටු හත්දෙනෙක් වයස් 12ත් 14ත් අතර පිරිමි දරුවන්ය.

ඉන් අනතුරුව යාබද අම්බිලන්තුරෙයි ගමේ හතලිස් ගණනක්ද මරුමුවට පත්වූ බව පවසන NESOHR ආයතනය

තුන් දවසක් තිස්සේ දියත් කරන ලද සමූලඝාතනයෙන් මියගිය වයස අවුරුදු 12ත් 40ත් අතර පිරිස දෙසීයකට අධික බව කියා සිටී.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

ආණ්ඩුව සමූලඝාතනයේ වගකීම ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුනේ මියගොස් ඇත්තේ වෙඩි හුවමාරුවකට මැදිවූ “ත්‍රස්තවාදීන්” බවයි.

එය තරයේ බැහැරකරන ඉස්සන් ගොවිපල හිමි සෙරෙන්ඩිබ් සීෆූඩ් සමාගමේ කලමනාකර අධිකාරි වික්ටර් සන්තියාපිල්ලේ සහ එහි උපදේශකත්වය දැරූ ඇමරිකානු ජාතික බ්රුස් සියර් සහතික කර කියා තිබුනේ එම ආයතන කාර්ය මණ්ඩලයේ 22ක් මරා දමන ලද අතර තවත් 12 ක් ඒ වනවිට අතුරුදහන්ව සිටින බවයි.

 

ඔවුන් අද වන තුරු හමුවූ බවක් දැනගන්නට නැත.

Related posts

Comments are closed.

Top