ඇලෝසියස්, පලිසේන හා උදයංග අත් අඩංගුවට

අර්ජුන් ඇලෝෂියස්

”එකම දැයක්” තේමාව පෙරදැරිව ශ්‍රී ලංකාව සිය හැත්තෑවැනි නිදහස සමරන මොහොතේ මෙරට සිදුවු  මහා පරිමාන මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනාවට ලක්වු තිදෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය කටයුතු කර තිබේ.

මහබැංකු බැඳුම්කර වංචාවට අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වෙත රැගෙන ගොස්  ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 4 ඉරිදා  උදෑසන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කසුන් පලිසේන

රහස් පොලිසිය අර්ජුන්  ඇලෝසියස්  අත්අඩංගුවට  ගෙන ඇත්තේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේදීය.

බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දී තිබුණි.

මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග  ඩුබායි ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසා තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාත්‍යන්තර පොලීසිය විසිනි.

උදයංග වීරතුංගට

රාජපක්ෂ පාලන සමයේ මිග් යානා ගනුදෙනුවට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට චෝදනා එල්ල වී තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරමින් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තු නිකුත් කර තිබුනේ පසුගිය අවුරුද්දේය.

Related posts

Comments are closed.

Top