අතුරුදහන් වූවන් සොයාගන්නට නැතැයි ජනපති කියයි| VIDEO

යුද සමයේ අතුරුදහන් වු කිසිවකු ආණ්ඩුව විසින් සඟවාගෙන නොසිටින බව ජනාධිපතිවරයා පවසයි.

ඒ හේතුවෙන් අතුරුදහන් වුවන්ගේ පවුල්වලට රජය මගින් සුබසාධන දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.

ඔහු ඒ බව සදහන් කළේ 5 සදුදා දිනයේ  යාපනයේ පැවති ජන හමුවක් අමතමිනි.

“ඔබ දන්නවා වසර ගණනක් තිස්සේ අතුරුදන්වූවන් ගැන නගන හඬ. ඒ අතුරුදන්වූවන්ගේ සංගම්, දෙමාපියන්,ඥාතීන් සමග සාකච්ඡා කළා කිහිප අවස්ථාවකම. එයාලා කිව්වා ඒ අතුරුදන්වූවන් මේ රටේ හංගගෙන ඉන්නවා කියලා.”

“එයාලා කිව්වා හමුදා කඳවුරුවල, පොලිසියේ, කැළෑවල ආණ්ඩුව හංගගෙන ඉන්නවා කියලා. නමුත් මම මේ ගැන හොයලා බැලූවා. මම ඉතාම කාරුණිකව කියනවා අද එහෙම හංගගෙන නැහැ කියලා. ඒ නිසා එයාලගේ පවුල්වලට රජය මගින් සුබසාධන දීමට අවශ්‍ය කටයුතු කරනවා”


මීට ඉහතදී අගමැති රනිල් වික්‍රමසිංහ  සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසා තිබුනේ දෙමළ අතුරුදහන් වුවන් මරා දමා ඇතැයි විශ්වාස කෙරෙන බවයි. 

අතුරුදහන් වුවන්ගේ සමීපතමයන් රජයෙන් ඉල්ලා සිටින්නේ යුද හමුදාවට භාරවූ සහ අත් අඩංගුවට ගනු ලැබුවන්ගේ ඉරණම හෙලි කරන ලෙසයි.

“මේ අතුරුදන්වීම් සිදුවුණේ උතුරේ පමණක් නෙමේ. දකුණේත් මෙවැනි අතුරුදන්වීම් සිදුවුණා. ඒ නිසා රජය විදියට මම කරන්න පුළුවන් සෑම දෙයක්ම සිදුකරන්න කටයුතු කරනවා.” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී වැඩි දුරටත් සදහන් කළේය.

අතුරුදහන් වීම් පිලිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවට 1980සිට ශ්‍රී ලංකාවෙන්  වාර්තාවී තිබෙන නොවිසඳුණු අතුරුදහන් වීම් සංඛ්‍යාව 5750කි. එය දෙවැනි වන්නේ ඉරාකයට පමණයි.

නොවැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණි එම කමිටුවේ විශේෂඥ මණ්ඩලයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධාරීන් වාර්තා කළ පරිදි ආගිය අතක් නොමැති පුද්ගලයන් 22,000කට වැඩි දෙනකුගේ  තොරතුරු දේශීය වශයෙන් ලේඛණ ගතවී ඇත.

කෙසේ නමුත් පසුගිය සමයේදී පුද්ගල අතුරුදහන් වීම් 65000ක් පමණ සිදුව ඇති බවට අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ (OMP) කෙටුම්පත අනුමත කරමින් ශ්‍රී ලංකාවේ රජය පිළිගෙන තිබේ.

1990 වසරේ  ජූනි මස 20 වනදා සිට වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කරන බවටද ජනාධිපතිවරයා එහිදී උතුරේ ජනතාවට සහතික විය.

“පාර අද ඔබට විවෘත කරනවා. ඒ පාර ඇරියාම ඔබලාට ගොඩාක් පහසුයි. කි.මී. 50 ක් විතර ලේසියි. මේ මාගේ කතාව ඉවර වෙන කොට ඒ පාර ඇරලා ඇති.”

අවතැන් වී සිටින  පවුල් වල ජනතාවට ඉඩම් දීමේ කටයුතු සියයට 75ක ට වඩා නිදහස් කර තිබෙන අතර  ඉතිරි ඉඩම්  නිදහස් කිරීමට  බලාපොරොත්තු වන බවද උතුරේ ජනතාව ඉදිරියේ ජනාධිපතිවරයා පොරොන්දු විය.

 

Related posts

Comments are closed.

Top