වධබන්ධන ගැන UN ප්‍රශ්න වලට ආණ්ඩුවෙන් වසරක් තිස්සේ උත්තර නෑ

යුද සමයේත් ඉන් පසුවත් අත් අඩංගුවේදී පමුණුවන ලද වධහිංසා සම්බන්ධයෙන් නැගෙන චෝදනා වලට අදාලව ශ්‍රී ලංකාවේ රහස් ඔත්තු සේවා ප්‍රධානියා ගේ කාර්ය භාරය විමසා එක්සත් ජාතීන් විසින් අවුරුද්දකට වැඩි කාලයකට ඉහතදී නගන ලද ප්‍රශ්න වලට ආණ්ඩුව අද වන තුරු පිළිතුරු දී නැතැයි හෙළිවී තිබේ.

ජාතික බුද්ධි සේවා ප්‍රධානී සිසිර මෙන්ඩිස්‌ 2008 මාර්තු මාසයේ සිට 2009 ජුනි දක්වා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හා ත්‍ර‍ස්ත විමර්ශන ඒකකය (TID) භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස රාජකාරි කරද්දී පුද්ගලයන් රඳවාගෙන වධබන්ධන පැමිණවීම පිළිබඳව නගන ලද ප්‍රශ්න වලට වසරක් ගතවීත් ශ්‍රී ලංකාව උත්තර දී නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය උපුටා දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) පවසයි.

වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UNCAT) සිය 59 වැනි සැසිවාරය 2016 ජිනීවා නුවර පවත්වද්දී දෙදිනක් තිස්සේ මුල්වරට ප්‍රශ්න අසන විට බුද්ධි අංශ ප්‍රධානියා සිටියේ වචනයක්වත් නොදොඩාය.

එම ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා UNCAT කමිටුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට අවුරුද්දක කාලයක් ලබා දී තිබුනි.

එහෙත්, JDS විසින් කරන ලද විමසීමකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී ඇත්තේ පිළිතුරු දීමට නියමිත අවසන් දිනය වන 2017 දෙසැම්බර් 7 දා පසුවී මාසයකට ආසන්න කාලයක් ගතවීත් ආණ්ඩුවෙන් උත්තර නැති බවයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ගේ පාලනය යටතේ රැඳවියන්ට වධහිංසා කිරීමේ චෝදනා රැගත් තොරතුරු එක්සත් ජාතීන්ට සපයා තිබුනේ JDS ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් විසිනි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ එස් තිස්සනායගම්, ලේඛක හා ප්‍ර‍කාශක වී ජසිහරන් හා ඔහු ගේ බිරිය වී වලර්මදී සහ ජනමාධ්‍යවේදී කේ විජේසිංහ ත්‍ර‍ස්ත විමර්ශන ඒකකයේ කෘර පීඩා වලට ගොදුරු වූ මාධ්‍යවේදීන් අතර වූ බව UNCAT වෙත දැනුම් දී තිබුනි.

සිසිර මෙන්ඩිස්ට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කිසියම් විමර්ශනයක් කළ බවට තොරතුරු නැතත්, 2017 ජූලි මාසයේ ඔහුට සේවා දිගුවක් සලසා දෙන ලදී.

කුප්‍රකට වධකාගාරයක්

“යුද්ධයේ උච්චතම අවධියේ රටේ කුප්‍රකටම වධකාගාරය පවත්වාගෙන ගිය,” නිලධාරියා ලෙස සිසිර මෙන්ඩිස් හැඳින්වූ ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) ඔහු සම්බන්ධයෙන් විභාගයක් නොකර සේවා දිගුවක් ලබා දීම හෙලා දුටුවේ අවඥාවක් සහ නිග්‍රහයක් ලෙසය.

“මෙන්ඩිස් මහතාට එරෙහි චෝදනා බරපතල ලෙස සැලකිල්ලට නොගැනීම, වධහිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවත්, 2015 විමර්ශනයේදී ඔහු ගැන නමින්ම සඳහන් කළ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයත් නිග්‍රහයට ලක් කිරීමකි,” යි ITJP සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ප්‍රකාශ කර තිබුනි.

වධහිංසාවෙන් ගැලවීමේ පිළියම්

අත්අඩංගුවේ සිටියදී වදහිංසාවෙන් ගැලවී සිටීමට සහ වධබන්ධනයට ගොදුරු වුවොත් පිළියම් ලබාගැනීමට රජය යොදන්නට අපේක්ෂා කරන සැලසුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද විමසීම් වලටද ආණ්ඩුව අද දක්වා උත්තර දී නැත.

වධහිංසා, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ වෙනත් බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් නැගෙන චෝදනා විභාග කිරීමට විශේෂ නීතිවේදීන්ගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මෙන්ම, වදහිංසාවට ගොදුරුවූවන්ට පැමිණිලි කිරීම සඳහා ස්වාධීන, පලදායී රහසිගත සහ පහසුවෙන් ප්‍රවේශවිය හැකි යාන්ත්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද 2016 දී එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් විමසා තිබුනි.

මේතාක් ඒ සම්බන්ධයෙන්ද පිළිතුරු ලැබී නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය  පවසා තිබේ.

පොලිස් අත්අඩංගුවේ දී වධබන්ධන හා ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝන වැලැක්වීම සඳහා සියලුම පොලීසි වලට CCTV කැමරා  සවි කිරීමට කටයුතු කරගෙන යන වග නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක 2016 සැප්තැම්බර් තරම් ඈතකදී කියා තිබුනත්, එම පොරොන්දුව ක්‍රියාවේ යෙදවූ බවක් දැනගන්නට නැත.

Related posts

Comments are closed.

Top