UN නිර්දේශ නොතකා LTTE සාමාජිකයකු පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව සැරසේ

 

දේශපාලන රැකවරණය පතා සිටි විමුක්ති කොටි සංවිධානයේ මුල් පෙලේ සාමාජිකයකු ශ්‍රී ලංකාවේදී වධබන්ධනයට ගොදුරු වීමේ අවදානම සලකා බලා ආපසු නොයවන ලෙස එක්සත් ජාතින් විසින් කළ ඉල්ලීම නොතකමින්, එළඹෙන සතියේදී ඔහු පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව නියෝග දී තිබේ.

ශාන්ත රූබන් නම් මෙම පුද්ගලයා පෙබරවාරි 22 බලහත්කාරයෙන් රටින් පිටමං කිරීමෙන් ඔහුගේ ජීවිතය අනතුරේ හෙලා ඇති බවට මෙල්බර්න් මුලස්ථාන කොටගත් දෙමළ සරණාගත මණ්ඩලය (TRC) චෝදනා කරයි.

රටින් ඉවත්ව යාමට නියමිත අවස්ථාවේ ගුවන් තොටුපොලේදී කිසිවකු මුණගැසීමට ඔහුට ඉඩ ලබා දී නැති අතර ඔහු ආරක්ෂාව සහිතව කොළඹට පියාසර කිරීමට නියමිත බව ලන්ඩනයේ සිට පල කෙරෙන ගාඩියන් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා රජය විසින් නිකුත් කළ නියෝගයට අත්සන් තැබීම ශාන්ත රූබන් ප්‍රතික්ෂේප කර තිබේ.

“ශාන්ත රූබන්ගේ පැමිණිල්ල විභාගයට ගනිමින් සිටින අවස්ථාවක ඔහු නැවත ශ්‍රී ලංකාවට යැවීමෙන් වළකින ලෙස” වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UNCAT) පසුගිය වසරේ ඔක්තෝබරයේදී අතුරු නිර්දේශයක් මගින් ඕස්ට්‍රේලියාවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබුණි.

UNCAT විසින් කළ අනතුරු ඇඟවීම නොතකමින් ඔස්ට්‍රේලියාවේ රැකවරණය පැතූ දෙමළ තරුණයකු පසුගිය දෙසැම්බරයේදී ද ශ්‍රී ලංකාවට නෙරපා තිබුණි.

රජයේ එම පියවර එක්සත් ජාතීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුණි.

 

නිමක් නැති වධහිංසා

ආරක්ෂාව පැතීමට නැවත වතාවක් ඉල්ලුම් කිරීමට ශාන්ත රූබන් ට අවස්ථාව හිමිවිය යුතු බව දෙමළ සරණාගත මණ්ඩලය අවධාරණය කරයි.

එසේම ඔවුන් කියා සිටින්නේ යුද්ධය අවසන් වී නම වසරක් නික්ම ගිය නමුත් දමිළ ජනතාවට අයත් භුමි ප්‍රදේශ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්පත්කරගෙන සිටින බවත් දෙමළ ජනතාව දිගින් දිගටම පීඩාවට පත් කරමින් සිටින බවත්ය.

“LTTE සංවිධානයේ හිටපු සාමාජිකයන් සහ සාමාජිකයන් බවට සැක කටයුතු පුද්ගයන් තවදුරටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් අතුරුදහන් කිරීම්, රඳවා තබා ගැනීම්, වධබන්ධනයට ලක්වීම් සහ හිරිහැර පැමිණවීම් සිදු කරනවා,” යැයි TRC ප්‍රකාශක ඇරන් මයිල්වාගනම් පැවසුවේය.

“එය සැලැකිල්ලට නොගෙන පිටුවහල කිරීම සිදු කිරීම ඔහුගේ ජීවිතය බරපතල ලෙස අනතුරේ හෙලීමක්.”

එල්ටීටීඊ ය සමග මොනයම්ම හෝ සම්බන්ධයක් ඇතැයි සැක කෙරෙන පුද්ගලයන්ට 2017 වසරේදීත් සිරකොටගෙන වධහිංසා පමුණුවා ඇතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් කර තිබු හෙළිදරව් ඉකුත් ජූලියේ දී ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු විසින් තහවුරු කර තිබුනි.

“ජාතික ආරක්ෂාවේ නාමයෙන් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගන්නවුන් ට එරෙහිව වධහිංසා කිරීම එදා මෙන්ම අදත්, ආවේනික සහ දෛනික චර්යාවක් ලෙසින් පවතින බව නිගමනය කිරීමට අවශ්‍ය සියලුම සාක්ෂි තිබේ,” යි විශේෂ වාර්තාකාර බෙන් එමර්සන් පවසා සිටියේය.

ලෝකයේ වධහිංසා පමුණුවන රටවල් අතරින් ශ්‍රී ලංකාව 2016 දීත් පළමු තැනට පැමිණ සිටින බව වධහිංසාවෙන් නිදහස (Freedom from Torture – FFT)  මානව හිමිකම් සංවිධානය පසුගිය අගෝස්තුවේ වාර්තා කර තිබුනි.

 

රටින් පලා ගොසින්

ශාන්ත රූබන් බෝට්ටුවක නැඟී ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇත්තේ 2012 දිය.

සාමාන්‍ය ජනතාව සමඟ ජිවත් වීමට ඔහු නිදහස් කර තිබුණු නමුත් 2015 දී යලිත් වරක් ඕස්ට්‍රේලියානු රැඳවුම් භාරයට ගෙන තිබේ.

එතැන් පටන් ඔහු ජිවත් වී ඇත්තේ සංක්‍රමණික කඳවුරකය.

යුද සමයේදී විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම නිසා රජයේ ආරක්ෂක අංශ වලින් එල්ල විය හැකි වධහිංසාවන්ට බියෙන් ඔහු රටින් පලා ගොස් තිබුණි.

එක්සත් ජාතීන් හමුවට ඉදිරිපත් කර ඇති වාර්තා අනුව ශාන්ත රූබන් එල්ටීටීඊ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. ඔහු එල්ටීටීඊ මුහුදු කොටි අංශයට යාත්‍රා නිපදවන්නෙකු ලෙස සේවය ලබා දී ඇත.

ශාන්ත රූබන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් අදහස් පල කිරීමෙන් වැලකි සිටි ස්වදේශ කටයතු අමාත්‍යංශ ප්‍රකාශකයකු “අපගේ ජාත්‍යන්තර මානව හිමිකම් නීති වලට අනුව පුද්ගලයකුගේ උපන් රට, ඕස්ට්‍රේලියානු ආරක්ෂණ නීති වලට පටහැනිව ක්‍රියා කරන හෝ වද හිංසාවට භාජනය විය හැකි තැනක් නම් අපි ඔවුන් එරටට යොමු කරන්නේ නැහැ,” යනුවෙන් ගාඩියන් පුවත්පතට පවසා ඇත.

මේ රජයේ පාලන සාමය තුලත් අත් අඩංගුවේ දී  පහරදීම් සහ වධහිංසා සිදුකෙරෙන බව රජය පිළිගෙන තිබේ.

පසුගිය අවුරුද්දේ මාර්තුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වාර්තා කර ඇති පරිදි  අත් අඩංගුවේදී සිදු කරන වධහිංසා ඇතුළු කෙලෙසීම් පුළුල් ලෙස පැතිර පවතී.

 

Related posts

Comments are closed.

Top