රාජ්‍ය විරෝධී චෝදනා නගා දුම්රියේ ලොක්කකුට එරෙහිව CID යට පැමිණිල්ලක් | VIDEO

රාජ්‍ය සම්පත් අයථා ලෙස යොදා ගෙන මහින්ද රාජපක්ෂවාදී දේශපාලනයේ නිරත වෙමින් රජය පෙරලීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බවට චෝදනා කරමින් ඔහු  සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ ශිල්පියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ බලවේග ධාවනාගාරයේ ප්‍රධානියා වන එම්.ජේ.එම් මඩවලගම විසින් රාජකාරි ස්ථානයේ දේශපාලන රැස්වීම් පැවැත්වීම වැරැද්දක් බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ ශිල්පී සහායක  වී. සුදේශ් නන්දිමාල් සිල්වා විසිනි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු පෙබරවාරි 12 දින දහවල් 11 -12  අතර කාලය තුළ ධාවනාගාර විවේකාගාරයේ  දී එම්.ජේ.එම් මඩවලගම  විසින් උත්සවයක් පවත්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශිෂ්ඨ ජයග්‍රහනයක් ලැබු බවත්, එය හොද උත්තරයක් බවත් සදහන් කළ බව සුදේශ් නන්දිමාල් මාධ්‍ය වේදීන්  සමග කියා සිටියේ 14 බදාදා සිය පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොනු කිරීම සදහා පැමිණි අවස්ථාවේදීය.

“2020 දී හෝ ඊට ප්‍රථම පවත්වන ජනාධිපතිවරණයකදී මහින්ද රාජපක්ෂගේ පවුලේ අයකු හෝ විශේෂ සම්බන්ධතාවයක් ඇති අයකුට සහයෝගය ලබා දී ඔහු ජනාධිපති කළ යුතු,” බවද එම්.ජේ.එම් මඩවලගම  විසින් සිය සේවකයන්ට දැන්වු බව එස්. නන්දිමාල් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් පැමිනිල්ලේ ගගනට ලැබී ඇති පිටපතෙහි  සදහන්ය.

දුම්රිය සේවය අඩාළ කිරීම

රජයේ සේවකයකු වශයෙන් සිටිමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පත් සෙසු දුම්රිය සේවකයන් යොදා ගනිමින් රාජකාරි කාලය තුළ දේශපාලන රැස්වීම් පැවැත්වීම වැරැද්දක් ලෙස සිය පැමිණිල්ල මගින් පෙන්වා දෙන සුදේශ් නන්දිමාල් සදහන් කරන්නේ වසර දෙකක කාලයක් තුළ දුම්රිය සේවය අඩාල වී ඇති බවටද  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ බලවේග ධාවනාගාරයේ තම සේවා ප්‍රධානියා වන එම්.ජේ.එම් මඩවලගම දුම්රිය සේවකයන්ට  පැවසු බවයි.

එම්.ජේ.එම් මඩවලගම යටතේ  දුම්රිය සේවකයන් 200 ක් පමණ රාජකාරියේ නිරත අතර මෙම තත්වය තුළ එම සියලු සේවකයන් ඔහුගේ දේශපාලන උවමනාවන් සදහා යොදා ගැනීමේ  ඇති හැකියාව අවධාරණය කරන සුදේශ් නන්දිමාල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දන්වා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයකදී මහින්ද රාජපක්ෂවාදී  අයකු ජනාධිපති කරවීම වෙනුවෙන් ඔහුට අවනත දුම්රිය සේවකයන් සමග දුම්රිය ධාවන කටයුතු කඩා කප්පල් කිරීමේ වැඩ පිළිවෙළක එම්.ජේ.එම් මඩවලගම යෙදී සිටින බවයි.

වැලිකඩ සමූහඝාතනය

රාජපක්ෂ පාලන සමයේ 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු මරා දැමීමේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වශයෙන් මරණ තර්ජනයට පවා ලක්ව  සිටින තමාට එම්.ජේ.එම් මඩවලගමගේ ක්‍රියාකලාපය ඉතාමත් අයහපත් ආකාරයෙන් බලපාන බවද සුදේශ් නන්දිමාල් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

මීට ඉහත අවස්ථා කිහිපයකදීම එම්.ජේ.එම් මඩවලගම විසින් තමා වැලිකඩ ඝාතනයේ සාක්ෂිකරුවක් වීම සම්බන්ධයෙන් විවිධ තර්ජන කර ඇති බව පවසන සුදේශ් නන්දිමාල් අවධාරණය කරන්නේ  ඔහුගේ දේශපාලන න්‍යායට සම්බන්ධ නොමැති දුම්රිය සේවකයන් විශාල පිරිසක් බියට පත්ව සිටින බවයි.

පවතින රජයේ කටයුතු විවේචනය කරමින් ඊට බාධාවන ආකාරයෙන් කටයුතු කරන මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කර සුදුසු පිටවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින සුදේශ් නන්දිමාල් 2018.02.12 දින  සේවා ස්ථානය තුළ එම්.ජේ.එම් මඩවලගම සේවකයන් කැඳවා පැවැත්වූ රැස්වීමේ විඩියෝ දර්ශන සහිත මෘදු තැටියක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

Related posts

Comments are closed.

Top