බාහුගෙන් එජාපයට තුන් ඈඳුතු නායකත්ව යෝජනාවක් | VIDEO

 

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින දේශපාලන ගනුදෙනුව වැඩි කළක් පැවතීම ගැන සැක පහල කරන යහපාලන රජය පිහිටුවීම වෙනුවෙන් කැපවු වාමාංශික නායකයෙක් එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විසඳීමට ත්‍රිපුද්ගල නායකත්වයක් යෝජනා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ප්‍රශ්නයක් පවතින බවයි නව සම සමාජ පක්ෂ නායකයා සදහන් කරන්නේ.

“රනිල් ලිබරල් වාදී නායකයකු ලෙස වැඩ කළත් ඔහුට තමන්ගේ මතවාදය සහ තමන් සමග එකට වැඩ කරන ක්‍රියාකාරී දේශපාලන නායකයන්, පහල මට්ටමේ අයත් එක්ක දේශපාලන ගනුදෙනුවක් හරියාකාරව ගෙනියන්න බැරි කෙනෙක්” යැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න චෝදනා කරයි.

ඔහු ඒ බව සදහන් කළේ රටේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් 19 සදුදා කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අගමැතිට සම්මාදම් වීම

තම මතය සාරවත් ලෙස ඉදිරියට ගෙනයාමට බැරි ප්‍රශ්නයක් අගමැතිවරයා සතුව පවතින බව පවසන ආචාර්යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රහාරාත්මකව ජනතාව පෙළ ගස්වා ගෙනයන ක්‍රියාමාර්ග වලදීත් ඔහුට සාර්ථකව රැඩිකල්  ජන නායකයකු ලෙස පෙනී සිටීමේ අපහසුතාවයක් පවතින බවයි.

ඒ හේතුවෙන් එම කටයුතු සදහා හැකියාව තිබෙන පක්ෂයේ  ප්‍රධාන පිරිස් අතරින් කිහිපදෙනකු සිටින බවත් ඔවුහු අගමැතිවරයා සමග ‘සම්මාදම්’ විය යුතු බවත් නව සම සමාජ නායනකයා යෝජනා කරයි.

 

 

යම් මතවාදයක් නිවැරදි ලෙස ජනතාව අතරට ගෙන යා හැකි ජනතා නායකයකු ලෙස සජිත් ප්‍රේමදාස නම් කරන ආචාර්ය වික්‍රමබාහු පවසන්නේ ප්‍රහාරාත්මකව විවාදාත්මකව සහ පහර ගැසීම තුලින් ජනතාව අවුස්සා පෙළ ගස්වා ඉදිරියට ගෙන යාමට හැකි නායකයකු ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න ඉතා දක්ෂ ලෙස මතුව සිටින බවයි.

සජිත් ප්‍රේමදාස සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ගේ සහාය පවතී නම් අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට ඉදිරියට ගමන් කළ හැකි බවට විශ්වාසය පල කරන වාමාංශික නායකයා ඔවුන් තිදෙනා සම අයිතියක් පවතින පිරිසක් ලෙස එකරාශි කරගැනීමට අගමැතිවරයාට හැකිනම් පහල මට්ටමේ ජනතාව තදින් පෙළ ගැස්වීමේ හැකියාවක් පවතින බව සදහන් කරයි.

එවැනි ක්‍රියාමාර්ගයක් තුළින් දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ ආධාරය එක්සත් ජාතික පක්ෂය වෙත ලැබෙන අතර පාර්ලිමේන්තුව තුළ බහුතරයක් ඇති කරමින් ඉදිරියට යෑමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව පවතින බවත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එහිදි වැඩි දුරටත් සදහන් කළේය.

 

Related posts

Comments are closed.

Top