වෙළෙඳපොළ ඇතත් තලන්නට යකඩ නැති ආණමඩුවේ ලෝකුරුවෝ

1

කම්මල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සදහා ලෝහ සපයා ගැනීමට පවතින දැඩි අසීරුතාවය හේතුවෙන් ආණමඩුව කම්මල් කරුවෝ බරපතල ගැටලු රැසකට මුහුණ දී සිටිති.

ආණමඩුව නැබැඩවැව ප්‍රදේශයේ සම්ප්‍රදායික කම්මල් කර්මාන්තයේ යෙදෙන ලෝකුරුවන්  මේ වන විට නවීණ විදුලි මෙවලම් තාක්ෂණය යොදාගෙන  කර්මාන්තය දියුණු කරගෙන ඇතත් කිණිහිරයට තවමත් සමුදී නොමැත.

නමුත් අතීතයේ පටන්  ඇදෙන සාම්ප්‍රදායික  මයිනහම වෙනුවට විද්‍යුත් මයිනහමක්  යොදා ගෙන ආණමඩුවේ කම්මල් කරුවන් සිය නිෂ්පාදන කටයුතු කාර්යක්ෂමව සිදු කරගෙන යන  ආකාරය දැක ගත හැකිය.

කම්මලේ නිෂ්පාදනය කරන පොරව, මන්නා පිහි, කඩු, කිණිසි, කැති, දෑ කැති ඇතුළු  ආයුධ  සඳහා  වෙළද පොලක් සපයා ගැනීම එතරම්ම ගැටළුවක් නොවන නමුත් කර්මාන්තයේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සැලකෙන යකඩ සොයා ගැනීමේ දුෂ්කරතා නිසා  කම්මල් කරුවන් මුහුණ පා සිටින්නේ   බරපතල අර්බුදයකටය.

සැතපුම් හැට හැත්තෑවක ගමනක්

ආණමඩුව, නැබැඩවැව හා ඒ අවට පවත්වාගෙන යන තවත් කම්මල් රැසක ලෝකුරුවන්ට සිදුව ඇත්තේ තම කර්මාන්තයට යකඩ සපයා ගැනීම සදහා සැතපුම් හැට හැත්තෑවකට වැඩි දුරක් ගෙවා යාමටයි.

එසේම  කම්මල් කර්මාන්තය සදහා යොදා ගන්නා  වාහන වලින් ඉවත් කරන දුණු කොළ  කිලෝවක්  මේ වන විට රුපියල් සීයත් දෙසීයත් අතර ඉහළ මිළක් දී ගැනීමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

මේ හේතුව නිසාවෙන් කම්මල්කරුවන්ට තමන් නිෂ්පාදනය කරන විවිධ  ආයුධ වර්ග වල මිළ ඉහළ දැමීමට සිදුව ඇත.

කම්මල්කරුවන් වැඩි දුරටත් පවසන්නේ ඔවුන්ගේ නිෂ්පාදන සදහා යොදා ගන්නා දුණුකොළ සොයා ගැනීමට මෙතරම් අපහසුතාවයක් පවතින්නේ පාපැදි කරුවන්, යතුරුපැදිකරුවන් විසින් ගරාජ වෙත ගොස් මෙම දුණුකොළ එකතු කර මාදම්පේ සහ පුත්තලම ප්‍රදේශවල පිහිටි යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලා වෙත අලෙවි කිරීම නිසා බවයි.

කෙසේ නමුත් කම්මල්කරුවන් පෙන්වා දෙන පරිදි ඔවුන්ගේ පාරම්පරික ලෝකුරු කර්මාන්තය රැක ගැනීම සදහා කිසිදු රජයක් මේ වන තෙක්  මැදිහත්වී නොමැත.

පුත්තලම කේ. ප්‍රියංකර

 

Related posts

Comments are closed.

Top