“කටුවා කෑම” නිසා පුත්තලමේ බල්ලන් අනතුරේ

රෝම හැලීමේ රෝගයකට  ගොදුරු වී ඇති සුනඛයන් ගණනාවක්  පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකින් සොයාගෙන තිබේ.

පුත්තලම, කල්පිටිය, ආණමඩුව, වනාතවිල්ලුව ඇතුළු ප්‍රදේශයන් රැසක සුනඛයන් බරපතල ලෙස රෝම වැටීමේ රෝගයකට ගොදුරු වී ඇති අතර පසුව සුනඛයන් වැහැරී මරණයට පත්වන බව ප්‍රදේශ වාසී ජනතාව පවසති.

එසේ රෝගයට ගොදුරු වූ පසු සුනඛයාගේ රෝම සියල්ලම ගැලවී වැටී යාම හේතුවෙන්  හම පමණක් දක්නට ලැබෙන බව ජනතාව වැඩි දුරටත් සදහන් කරයි.

නිවෙස් වල ඇති කරන සුනඛයන් සහ අයාලයේ යන සුනඛයන් නිරතුරුව බේදයකින් තොරව මෙම රෝගයට ගොදුරුවන  අතර, ජනතාව ජනවහරයේ මෙම රෝගය හදුන්වනු ලබන්නේ “කටුවා කෑම” යනුවෙනි.

සුනඛයාගේ සම ඉතිරි වන්නට  සියලුම රෝම හැලී යාමත් සමගම සුනඛයා ඉතා දුර්වර්ණ වී අවලක්ෂණ පැහැයක් ගන්නා බවත්, පසුව තුවාල ඇති වීමෙන් සැරවා වහනයත් සමග සුනඛ සිරුරෙන් විශාල දුගදක් හමන බවද, ගම් වැසියන් පවසති.

නමුත් මේ පිළිබදව මහජන සෞඛ්‍ය පරික්ෂක අංශ හෝ පශු වෛද්‍ය  කාර්යාල මගින් නිසි අවධානයක් යොමු කර නොමැති බවටද ජනතාව චෝදනා නගති.

එන්නත් කරන්න

කෙසේ නමුත් පශු වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් පවසන්නේ මෙය  දීලීරයක් හා බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් ඇති වන රෝගයක් බවයි.

එසේම මෙම රෝගය මහජනතාවට කිසිදු ආකාරයෙන් බලපෑමක් නොවෙන බවත්, රෝගයට ගොදුරුව ඇති සුනඛයන් පශු වෛද්‍ය කාර්යාල වෙත රැගෙන විත් නිසි එන්නත් ලබා ගැනීමෙන් මෙම රෝගය පාලනය කර ගත හැකි බවත් ඔවුහු පවසති.

පුත්තලම කේ. ප්‍රියංකර

Related posts

Comments are closed.

Top