“ප්‍රකෝපකාරි ප්‍රකාශවලින් වැළකෙන්න”මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් ජනතාව ප්‍රකෝප වන ආකාරයේ ප්‍රකාශ හෝ වගකීම් රහිත ප්‍රකාශ නොකරන ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඉල්ලා සිටී.

ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම සිදු කර ඇත්තේ 6 අගහරුවාදා  පැවැති මධ්‍යම පළාත් සභා රැස්විමේ දී තෙල්දේණිය ප්‍රදේශයේ උද්ගතව ඇති තත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්විමට ජනාධිපතිවරයා විසින් මේ වන විටත් පොලිසිය ඇතුළු වගකිව යුතු අංශ වෙත සියලු උපදෙස් ලබා දී ඇති බැවින් සිද්ධිය පිළිබඳව පෞද්ගලික අර්ථකතන එක් කිරිම හා මතවාද පැතිරවිම නුසුදුසු බව ප්‍රධාන අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

ගැටළුවට සම්බන්ධ සියලු පාර්ශවයන් ලංකාවේ පුරවැසියන් වන බැවින් සියලු ම දෙනා ඉතා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බව ද ඔහු විසින් පෙන්වා දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පළාත් සභාවේ විපක්ෂ නායක චානක අයිලප්පෙරුම එහිදී සදහන් කර ඇත්තේ  මෙම සිදු විම මධ්‍යම පළාත තුළ සිදුවූවක් බැවින් එය සමතයකට පත් කිරිම සඳහා පුද්ගලිකව සෑම පළාත් සභා මන්ත්‍රීවයෙක් ම මැදිහත් විය යුතු බවයි.

එහි දී පක්ෂ විපක්ෂ ජාති සහ වර්ග යන පදනම් සියල්ල නොසලකා ලාංකිකයන් ලෙස කටයුතු කිරිම වැදගත් බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

තෙල්දෙණිය පොලිස් වසමේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් දිගන ප්‍රදේශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් ද පිටත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

Related posts

Comments are closed.

Top