වාඩිලාගත් භූමියක් ගැන වාර්තා කිරීමට ගිය දෙමළ මාධ්‍යවේදියාට හමුදා තර්ජන | VIDEO

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අට අවුරුද්දකට වැඩි කලක් තිස්සේ වාඩිලාගෙන සිටින වන්නියේ සුසාන භූමියක්  සදහටම අත්පත් කරගැනීමේ සැලසුම් වලට එරෙහිව පලවන ජනතා විරෝධය  පිළිබඳ තොරතුරු භාරදීම ප්‍රතික්ෂේප කළ මාධ්‍යවේදියකු හමුදා නිලධාරීන්ගේ හිරිහැරයට ගොදුරු වී තිබේ.

හිරු මාධ්‍ය ජාලයට සම්බන්ධ එම මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මුලතිව් – කෝකිලායි මාර්ගයේ දී නැවැත්වූ යුද හමුදා භටයන් ඔහු සතු වීඩියෝ දර්ශන පෙන්වන ලෙස බලකර ඇත.

වීඩියෝ දර්ශන ඉල්ලා ඇත්තේ 2009 සැප්තැම්බරයේ පිහිටුවන ලද අලම්පිල් හමුදා කඳවුර වීඩියෝ ගත කරන ලද බවට චෝදනා කරමිනි.

මාධ්‍යවේදියා හමුදා භටයන් විසින් නතර කර ඇත්තේ යුද හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන මහවිරු සුසාන භූමියක අයිතිය තහවුරු කර ගැනීමේ සැලසුම් ග්‍රාම නිලධාරී දැන්වීමක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් නොසන්සුන් වූ අලම්පිල් ගම්වාසීන් මුණ ගැසී එන ගමනේදීය.

සුසාන භූමියේ ඉදිකර තිබු සියගණනක් සොහොන් කොත් විනාශ කර දමා වගා ව්‍යාපාර පවත්වාගෙන යන හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ 24 වැනි අනුඛණ්ඩය පොදු ජනතාව පරිහරණය කරන ආපන ශාලාවක්ද පිහිටුවා තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

ආපන ශාලාව ද ඉදිකර ඇත්තේ සුසාන භූමිය පිහිටි ඉඩමේය.

යාබද කඳවුරේ හමුදා භට පිරිස් විසින් නවතා ලනු ලැබූ මාධ්‍යවේදියා ප්‍රකාශ කර ඇත්තේ අලම්පිල් සුසාන භුමිය සම්බන්ධයෙන් වාර්තා කිරීමට තමන් තොරතුරු රැස් කළ බවයි.

කෝපයට පත් හමුදා නිලධාරියා පටිගත කරගත් වීඩියෝ දර්ශන ඉල්ලා බලකර ඇත්තේ එම ඉඩම හමුදාවට පවරාගැනීම සඳහා නියමිත බව පවසමිනි.

තොරතුරු ලබාගැනීම සඳහා ඇති අයිතිය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි මාධ්‍යවේදියා හමුදා නිලධාරියාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ පළාතේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා වාර්තා කිරීම තම වගකීම බව පහදා දෙමිනි.

හමුදා නිලධාරියා පවසා ඇත්තේ එම භූමියේ අයිතිය යුද හමුදාවට බවයි.

“මිලිටරි එක තමයි මෙතන ඔකියුපයි කරලා (වාඩිලාගෙන) ඉන්නේ,” යි දෙමළ මාධ්‍යවේදියා ට බලපෑම් කළ නිලධාරියා වන කපිතාන් ලහිරු ප්‍රියදර්ශන ඒ අවස්ථාවේ පවසා තිබේ.

පටිගත කළ දර්ශන ඔහුට ලබාදීම මාධ්‍යවේදී තවසීලන් විසින් තරයේ ප්‍රතික්ෂේප කිරීම නිසා කඳවුර තුලට ගෙනගොස් අණදෙන නිලධාරියා මුණගස්වා ඇත.

තමන් මුහුණ පා සිටින දුෂ්කර තත්වය පිටතට දැනුම් දීමට මාධ්‍යවේදියා විසින් කටයුතු කිරීම නිසා වෘත්තීය සගයන් මැදිහත්වී හමුදා ප්‍රකාශකයාට කතාකොට ඔහු කඳවුරෙන් පිටතට ගැනීමට හැකි වූ බව ගගන යාපනය වාර්තාකරු පවසයි.

අලම්පිල් මහවිරු සුසාන භූමියේ මිහිදන් කර ඇති ඥාතීන් වෙනුවෙන් පිං පැමිණවීම සඳහා කෝකිලායි, කොක්කුතුඩුවායි, නායාරු, කුමුලමුනේ, උඩුප්පුකුලම්, අලම්පිල් හා ආරුමුත්තාම්කුලම් වැනි මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන ගණනාවකින් මෙන්ම  හා යාපනයෙන් හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ද පිරිස් පැමිණෙන බව ප්‍රදේශයේ වැඩිහිටියෙක් පවසයි.

“අවුරුද්දකට සැරයක් වත් අපේ ළමයි සිහිපත් කරලා අඬන්න, මලක් තියලා පානක්, කපුරු ටිකක් පත්තු කරන්න තියෙන අවස්ථාව බලහත්කාරෙන් නැති කරන්න හදන එක හරිම වේදනාවක්.”

Related posts

Comments are closed.

Top