යුද්ධය නිසා උතුරට අධ්‍යාපනය අහිමි වීම ගැන අගමැති දුක් වෙයි 

යුද්ධයෙන් පාසල් විනාශවීම, ඇතැම් පාසල් හමුදාවට ලබාගැනීමට සිදුවීම හා  ගුරුවරු උතුරු පළාත අතහැර යාම, ආදිය යාපනයේ අධ්‍යාපනය විනාශ වීමට හේතුවක් වූ බව අගමැතිවරයා පවසයි.

යාපනයේ ජනතාව රටට විශාල සේවයක් සිදුකළ අතර  එම ජනතාවගෙන් කොටසක් ගුරුවරුන් ලෙස බාල පරම්පරාවට අධ්‍යාපනයට ලබාදුන් බවත්, තවත් කොටසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි රැකියාවල නිරත වු බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

නමුත් 83 ජනවාර්ගික කෝලාහලය ඇතිවීමෙන් පසුව උතුරු පළාතේ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවෙන් පිටවී ගිය බව අගමැතිවරයා සඳහන් කර ඇත්තේ ස්වේච්ඡා හා කොන්ත්‍රාත් පදනම මත උතුරු පළාතේ සේවය කළ ගුරුවරුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට 28 බදාදා අරලියහහ මන්දිරයේදී එක්වෙමිනි.

රට ගිය ඇත්තෝ

ලංකාවෙන් පිටව ගිය බොහෝ දෙනෙක් විදේශ විශ්ව විද්‍යාලවල, විදේශ රාජ්‍ය ආයතන සහ සමාගම්වල සේවය කරන අතර ඔවුන් විදේශික ව්‍යාපාරිකයන් ලෙස එම රටවල හොදින් ජීවත් වන නමුත්  එම පාඩුව වර්තමානයේ අපේ රටට බලපා ඇති බව අගමැතිවරයා එහිදී සදහන් කර ඇත.

එමෙන්ම  යුද්ධය නිසා යාපනය ප්‍රදේශයේ බොහෝ දෙනා කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශවල ජීවත්වීමට තීරණය කිරීමත් සමග අධ්‍යාපනයට අවශ්‍ය වැදගත්ම සාධකය වන මිනිස් සම්පත එම ප්‍රදේශවල නොමැති වීම  යාපනයේ අධ්‍යාපනය  බිඳ වැටීම ආරම්භ වීමට හේතුවක් ලෙස ඔහු පෙන්වා දෙයි.

නැගෙනහිර පළාතේ හොඳම ගණිත අධ්‍යාපනය ලබාදෙන පාසලක් ලෙස හාර්ඩ්ලි විද්‍යාලය එකල සැලකු නමුත් අද හාර්ඩ්ලි විද්‍යාලයට එවැනි තත්වයක් නොමැති අතර  අද එම පාසල්වල අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවත් අගමැතිවරයා එහිදී පිළිගෙන තිබේ.

” විශේෂයෙන් අප පාසල් යන අවධියේ යුද්ධයට පෙරත් රටේ හොඳම අධ්‍යාපනය ලබා දුන්නේ යාපනය දිස්ත්‍රික්කය තුලයි. හොඳම අධ්‍යාපනයක් ලබාදෙන දිස්ත්‍රික්ක ලෙස කොළඹ සහ යාපනය එකල හැදින්වූවා. එම ලැයිස්තුවේ ගම්පහ දිස්ත්‍රික්කය තිබුණේත් යාපනයට පසුවයි. මහනුවර, ගාල්ල, කුරුණෑගල දිස්ත්‍රික්ක එම ලැයිස්තුවට ඇතුලත් වී තිබුණේ ඉන් පසුවයි. නමුත් යුද්ධයෙන් පසුව අද වන විට යාපනයේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙනවා. අද යාපනයට වඩා හොදින් අධ්‍යාපනය ලබාදෙන දිස්ත්‍රික්ක ගණනාවක් තිබෙනවා”.

කෙසේ නමුත් යාපනයේ අධ්‍යාපනය නැවත දියුණු කිරීම සඳහා වසර 10ක පමණ කාලයක් ගතවන බවද අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කර ඇත.

Related posts

Comments are closed.

Top