“අපි තවම තීරණයක් අරගෙන නෑ” සම්බන්ධන් | VIDEO

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂ වන්නේද නැතිද යන්න සම්බන්ධයෙන්  දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිතවාදී මන්ත්‍රීවරුන් විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව භාරදී තිබෙන විශ්වාස භංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කොට ඡන්ද විමසීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 4 දාය.

ඊට පෙර දවසේ ජනාධිපතිවරයා සමග පවත්වන ලද විශේෂ සාකච්ඡාවක් අවසානයේ විපක්ෂ නායකයා  ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය අවසන් තීරණයකට එළැඹ නැති බවයි.

“අපි තවම තීරණයක් අරගෙන නෑ,” යි ආර් සම්බන්ධන් ජනාධිපති කාර්යාංශයෙන් පිටතදී මාධ්‍යවේදීන් හා කියා සිටියේය.

අගමැති විරෝධී විශ්වාස භංගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කවර ඉල්ලීමක් කළේ දැයි විපක්ෂ නායකයා හෙළි කළේ නැත.

කෙසේවෙතත්, ජය ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමග එකඟතාවකට නොයන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සමග පැවති හදිසි සාකච්ඡාවකදී ඉල්ලා සිටියේ යැයි ඇතැම් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

අසාර්ථක ලෙස අවසන් වූ එම සාකච්ඡාවේදී මංගල සමරවීර අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සිහිපත් කර දී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව බලයට ගෙන ඒමට දායක වූ ආකාරයයි.

 

Related posts

Comments are closed.

Top