අලියා වැටුනු වලෙන් අලි පැටවකු බේරා ගනී

පවතින අධික  නියඟ හේතුවෙන්  ජලය සොයා ගම්මානය වෙත කඩා වැදුණු වන අලි රංචුවක් සමඟ පැමිණි පැටවකු 3 අඟහරුවාදා  තබ්බෝව, කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ගල් වලක වැටී සිටි බවට  ගම්මුන් ලබා දී තිබු තොරතුරකට අනුව වන ජීවි නිලධාරින් විසින් ගොඩ ගෙන තිබේ.

නරිඔය ආසන්නයේ පිහිටා ඇති අලියා වැටුණු වල ලෙස හැඳින්වෙන ගල් වළක අලි පැටියා වැටි සිටිනු දැක ප්‍රදේශවාසීන් සහ වන ජීවි කාර්යාලයේ  නිලධාරින් එක්ව විශාල ප්‍රයත්නයක් දරා අලි පැටවා ගොඩට ගැනීමෙන් අනතුරුව අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඇත් අතුරු සෙවණට භාර දීම සදහා රැගෙන ගිය බව වන ජීවි නිලධාරීහු පවසති.

පවතින නියං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශය පුරා කිසිදු ස්ථානයක ජලය නොමැතිවුවද, අදාළ වළෙහි පමණක් ජලය රැඳි තිබීම නිසාවෙන් ජලය පානය කිරීමට පුරුදුව සිටින වන සතුන් මෙලෙස  පැමිණෙන බවත්, සමහර අවස්ථා වලදී එලෙස සතුන්  වලට  වැටී සිටිනු දැක ඇති බවත් ජනතාව පෙන්වා දෙති.

විශේෂයෙන්ම මෙම ගල් වළ තුළට  බහුතරයක් වැටී ඇත්තේ අලින් වැටී  නිසා මෙම වලට ජනවහරේ අලියා වැටුන වල නමින් හඳුන්වනු ලබයි.

වගා හානි

වල් අලි රංචු වශයෙන් මෙම වල වෙත ජලය සොයා පැමිනීමත් සමඟ අවට ප්‍රදේශ වල භව භෝග වලටද නිරන්තරයෙන් අලාභ හානි සිදු වන බව ගම්මු පෙන්වා දෙති.

බහුතරයක් හානි සිදුවන්නේ ප්‍රදේශයේ පිහිටා ඇති පොල්, කෙසෙල්, වැනි භෝග වලටය.

වන ජීවි නිලධාරින්ද අලි පලවා හැරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළද, ඒවා ව්‍යර්තව ඇති බව ගමුවාසීහු පවසති.

මෙවැනි හේතු නිසා නුදුරේදී මෙම ගොවි ජනපද වල අලි මිනිස් ගැටුමක් නිර්මාණය වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.

මෙවැනි තත්වයක් තුළ ඇතැම් අවස්ථාවන් වලදී සත්ව ජීවිතත්  තවත් විටෙක මිනිස් ජීවිතත් අහිමි වෙයි.

එබැවින් මෙයට තිරසාර විසදුමක් ලෙස ජනතාව ඉල්ලා සිටින්නේ  විදුලි  අලි වැට සක්‍රීය කර එහි නඩත්තුව නිසා ආකාරයෙන් සිදුකළ යුතු බවයි.

පුත්තලම කේ. ප්‍රියංකර
සේයා : රෝවන් පෙරේරා

Related posts

Comments are closed.

Top