විශ්වාසභංගය ජනපති ගෙදර යැවීමේ කුමන්ත්‍රණයක මුල් පියවරයි: මංගල

ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව  දේශපාලන කුමන්ත්‍රණයක් බව පවසන මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා එය  ජනාධිපතිවරයා ගෙදර යැවිමේ දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවර බව සදහන් කරයි.

මෙය ජනාධිපතිතුමාත් ඉලක්ක කරගත් විශ්වාසභංගයක්. දෝෂාභියෝගයක් ගෙනැල්ල ගෙදර යවන්න තියෙන  බාධකය අග්‍රාමාත්‍යවරයායි. එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවරක්. රටේ වාසනාවට දැනටමත්  පරාජය වී අවසන්.” යැයි අමාත්‍ය මංගල සමරවීර සදහන් කළේ විශ්වාසභංග යෝජනා විවාදයට පාර්ලිමේන්තුවේදී 4 බදාදා එක්වෙමිනි.

අගමැතිතුමා  දක්ෂ දේශපාලඥයෙක් ලෙස ඔප්පු කර තිබෙනවා. එතුමා හා රජයට ඉලක්ක කරගෙන විශ්වාසභංගය ගෙනැල්ලා රට අන්ධකාරයට යොමු කර රට ආපස්සට ගෙන යාමයි අරමුණ වී තිබෙන්නේ. අපි විශේෂයෙන් අගමැතිතුමා මේ ක්‍රම නවත්වන්නයි ආවේ. අපි බොන්ඩ් වංචාව යටගහන්නේ නෑ. අලුත් නීති හදලා මුදල් ආපසු ගන්නවා. ශතයක්වත්  රටට අහිමි වෙන්න දෙන්නේ නෑ. එදා අහිමි වූ ට්‍රිලියන් ගණන් අහිමිවීම කතාකරන්නේ නෑ.විශ්වාසභංගය ජනතාව නොමඟ යැවීමේ අසාර්ථක උත්සාහයක්.

වසර විස්සකට පසුත් විපක්ෂයට ඇති දේශපාලන අභියෝගය අගමැති රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය මංගල සමරවීර එහිදී වැඩි දුරටත් සදහන් කළේය.

2014 වසරේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද අවස්ථාවේදී කිසිම කුහකකමක් නොමැතිව එම යෝජනාව එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පිළිගත් ආකාරයද එහිදී සිහිපත් කළ අමාත්‍ය මංගල සමරවීර තව දුරටත් සදහන් කළේ විශ්වාස භංගය හරහා අගමැතිවරයා දක්ෂ දේශපාලඥයෙක් ලෙස ඔප්පු වී හමාර බවයි.

විශ්වාසභංග යෝජනාව හරහා යම් දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගන්නට යන බව පෙනෙන්නට ඇති අතර  ඉදිරිපත් කර ඇති චෝදනා නිශ්චිත නොවන බවත් එබැවින් විශ්වාසභංග යෝජනාව කෙරෙහි විශ්වාසයක් නොමැති බව  ආර්. සම්බන්ධන් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග විවාදයේ දී අඳහස් දක්වමින් පවසා ඇත.

එම විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සදහන් කර තිබුනේ ලැබූ ජයග්‍රහන සියල්ල ආපසු හැරවීමට විශ්වාසභංගය ගෙනැවිත් තිබෙන අතර  ජනවරි 8 ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට නම් විශ්වාසභංගය පරාජය කළ යුතු බවයි.

 ආණ්ඩුවේ ප්‍රධානීයා වන්නේ ජනාධිපතිතුමා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. මෙය මුළු ආණ්ඩුවට විරුද්ධව ගෙනා යෝජනාවක්” මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.

Related posts

Comments are closed.

Top