අගමැතිට විරුද්ධ ඇමැතිවරුන් තියාගෙනම ජනපති ආණ්ඩු කිරීමට සැරසේ | VIDEO

අගමැතිවරයා ධුරයෙන් පලවා හැරීමට පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ඉවත් කරන ලෙස බල කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබියදී ඊට අනුමැතිය නොදෙන බවක් ජනාධිපතිවරයා විසින් පල කොට තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩු කළ නොහැකි බව පෙන්වා දෙන ජනාධිපති වරයා රනිල් වික්‍රමසිංහ විශ්වාස භංගය පරදවා දෙදිනකට පසු කියා සිටින්නේ එකතු වන ඕනෑම අයකු සමග ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන බවයි.

අගමැතිවරයාට හිතවාදී මෙන්ම විරුද්ධවාදී අමාත්‍යවරුන්ගෙන් ද සමන්විත එවැනි පාලනයක් ජනාධිපතිවරයා විසින් හඳුන්වන ලද්දේ “ශක්තිමත් ආණ්ඩුවක්” ලෙසයි.

“එහෙම ශක්තිමත් කිරීමේදී කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සහාය මම ලබාගන්නවා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 6 සිකුරාදා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් කැඳවා කියා සිටියේය.

“මේ අවස්ථාවේත් පාර්ලිමේන්තුවෙන් කරන මගේ විවෘත ඉල්ලීම තමයි රජය ශක්තිමත් කිරීම සඳහා ඕනෑම කෙනෙක්ට රජය සමග එකට එකතු වෙන්න පුළුවන් කියන එක. පැමිණෙන පිරිස කවුරු වුණත් ඒ පැමිණෙන පිරිස සමග රජය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනියනවා.”

ජනාධිපතිවරයා ගේ ප්‍රකාශයෙන් පලවී ඇත්තේ අගමැතිවරයාට විරුද්ධව මහින්ද රාජපක්ෂ වාදීන් විසින් ගෙන එන ලද විශ්වාස භංග යෝජනාවට පක්ෂවූ අමාත්‍යවරුන් තව දුරටත් කැබිනට් මණ්ඩලයේ තබාගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමේ අපේක්ෂාව බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටින්නේ එම අරමුණ පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් කටයුතු කරනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරුද්ධව මහින්ද රාජපක්ෂ වාදීන් විසින් ගෙන එන ලද විශ්වාස භංග යෝජනාව ආණ්ඩුවටම විරුද්ධ වූවක් බව පෙන්වා දෙන ඔහු “ආණ්ඩුවට විරුද්ධ ඇමතිවරුන් තියාගෙන ඉන්න ආණ්ඩුවක් ශක්තිමත් ආණ්ඩුවක් වෙන්නේ කොහොමදැ,” යි ප්‍රශ්න කළේය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ගගන හා කතාකළේ අගමැතිවරයාට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ  නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සමග එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, ජෝන් සෙනෙවිරත්න සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාස භංග යෝජනාවක් කථානායක වරයාට භාර දීමෙන් අනතුරුවය.

ආණ්ඩු පක්ෂයේ ඉන්නා ශ්‍රීලනිපයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී.බී. ඒකනායක, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ තාරනාත් බස්නායක ද පාර්ලිමේන්තුවේදී ඡන්දය පාවිච්චි කළේ අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂවය.

Related posts

Comments are closed.

Top